ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු විස්සයි20 හමුව අද

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු විස්සයි20 හමුව අද

අන්තර් ජාතික විස්සයි20 ක්‍රිකට් බිමේ පළමු වරට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (22) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී එකිනෙකා හමුවෙති. වසර 8ක ඉතිහාසයක් හිමි විස්සයි20 තරගබිමේ මේ වනතුරු ‍එකිනෙකා හා තරග නොවැදුණු මේ දෙපිල අද ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි තරග මුහුණුවර යටතේ දෙපිලේ ම ශක්තිය උරගා බලනු ඇත.

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දැනටමත් සුපිරි අට වටයට 'සී' කාණ්ඩයෙන් සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද තරග වදින්නේ තම කාණ්ඩයේ පෙරමුණ ගැනීමේ අරමුණ ඇතිවය.

'සී' කාණ්ඩයේ පළමු තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 82කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර දෙවැනි තරගයේ දී කඩුලු 10කින් සිම්බාබ්වේ පිල පරාජය කිරීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

විස්සයි 20 තරග බිමේ දෙපිල මුණගැසෙන පළමු අවස්ථාව වන බැවින් අද තරගයට දෙපිලම අවතීර්ණ වන්නේ දැඩි උනන්දුවකින් යුතුවය. එමෙන්ම විස්සයි20 තරග බිමේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් වන බැවින් සෙසු කණ්ඩායම් ද තරගය කෙරෙහි අවධානයෙන් පසුවෙති. එබැවින් වෙනදාට වඩා වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් අද තරගයේ සාක්ෂිකරුවන් වනු නිසැකය.

මේ ඓතිහාසික තරගය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කීපදෙ‍නකුට පිතිහරඹ අංශයෙන් වැදගත් වේ. නායක මහේල ජයවර්ධනට විස්සයි 20 තරග දිවියේ ලකුණු දහස සම්පූර්ණ කිරීමට තවත් අවශ්‍යවී ඇත්තේ ලකුණු 6ක් පමණි. තරග 38කට ක්‍රීඩා කර ඇති මහේලට අද තරගයේ දී ඒ කඩඉම පසුකළ හැකිවේ නම් විස්සයි 20 තරග බි‍මේ ලකුණු දහස සම්පූර්ණ කරන සිවුවැනි පිතිකරු මහේල වනු ඇත. මේ ලැයිස්තුවේ දැනට පෙරමුණේ පසුවන නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ය.

ඔහු තරග 48කදී ලකුණු 1443ක් ලබා සිටින අතර එංගලන්තයේ කෙවින් පීටර්සන් තරග 36කදී ලකුණු 1176ක් ලබා සිටියි. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් තරග 37කදී ලකුණු 1004ක් ලබා ගෙන ති‍බේ. විස්සයි20 තරගබිම උඩුයටිකුරු කළ තිලකරත්න ඩිල්ෂාන් තරග 39කදී ලකුණු 956ක් ද, කුමාර් සංගක්කාර තරග 36කදී ලකුණු 954ක් ද ලබා සිටිති. විස්සයි20 තරගබිමේ කඩුලු 50 ක් සම්පූර්ණ කළ සිවුවැනි පන්දුයවන්නා වීමට අජන්ත මෙන්ඩිස්ට තවත් අවශ්‍යවී ඇත්තේ කඩුලු 4ක් පමණි.

මේ වනවිට ඔහු තරග 22කදී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව සිටියි. මේ වනවිට විස්සයි 20 තරගබි‍මේ වැඩිම කඩුලු ලැබූ ලැයිස්තුවේ මුල්තැන සිටින පන්දුයවන්නෝ තිදෙනාම පාකිස්තානුවන්ය. සයීඩ් අජමාල් තරග 42කදී කඩුලු 60ක්ද, උමාර් ගුල් තරග 43කදී කඩුලු 59ක්ද, ෂහීඩ් අෆ්රිඩි තරග 50කදී කඩුලු 58ක් ද දවාගැනීමට සමත්වූහ. කෙසේවෙතත් අද තරගයේ දී අජන්ත මෙන්ඩිස් ට මුහුණදීමට තම කණ්ඩායම සූදානම් බව දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් ඊයේ ප්‍රකාශ කළේය. 'මෙන්ඩිස් ලොව විශිෂ්ටතම පන්දු යවන්නෙක්. නමුත් මේ විස්මිත පන්දු යවන්නාට මුහුණදීමට අප සූදානම්.' ඩිවිලියර්ස් එසේ පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා