ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තාන පිල ගෙදර යවති

ලෝක ශූර එංගලන්ත ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තාන පිල ගෙදර යවති

විස්සයි 20 ලෝක ශූර එංගලන්තය සහභාගීවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 116ක දැවැන්ත ජයක් ලබා ගත්තේය. ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 196ක් ලබාගත් අතර ඇෆ්ගනිස්තානය ඕවර් 17.2කදී ලකුණු 80කට දැවී ගියේය.

එය ඇෆ්ගනිස්තානය විස්සයි 20 තරගයකදී මෙතෙක් ලබා තිබූ වැඩිම ලකුණු ගණන සමවීමක්ද විය. මෙයට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව 2007දී පැවැති තරගයකදී මෙවැනිම ඉරණමක් ඇෆ්ගනිස්තානයට අත්ව තිබුණි.

සහභාගිවු තරග දෙකම පරාජය වීම හේතුවෙන් ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට විසි විය. ඇෆ්ගනිස්තානය ලකුණු ලබා ගැනීමේදී සියලු පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ අසරණවූ අතර දහයේ සීමාව පසු කිරීමට සමත් වූයේ ගුල්බෝඩින් නායිබ් පමණි.

හුදකලා සටනක නිරතවූ නායිබ් පන්දු 32කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමග ලකුණු 44ක් ලැබීය. ඇෆ්ගන් පළමු කඩුලු 2ක ලකුණු 2කට දැවී ගිය අතර ලකුණු 22 සිට 26 වෙද්දී තවත් කඩුලු 5ක් බිද වැටීමෙන් පරාජය දරුණු අතට හැරවුණි. නායක ක්‍රිස් බ්‍රෝඩ්, පටෙල්, ස්වෝන් හා ඩර්න්බැච් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.

තරගයේ වීරයා සම්මානයේ හිමිකාරයාවූ එංගලන්ත ඉනිමේ අංක එක පිතිකරු ලූක් රයිට් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකර වාර්තා කළ පළමු පන්තියේ ඉනිම ජයග්‍රහනයේ ප්‍රබල තුරුම්පුව විය. ඔහු පන්දු 55කදී නොදැවී ලකුණු 99ක් ලබාගෙන ක්‍රීඩා පිටිය වර්ණවත් කළේය.

හයේ පහර 6ක් හා හතරේ පහර 8ක්ද සමග ලැබූ එම ලකුණු සංඛ්‍යාව එංගලන්ත පිතිකරුවෙකු මෙතෙක් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී ලැබූ ඉහලම ලකුණු ගණන වේ. ඔහුගේ එක් යෝධ හයේ පහරක් මීටර් 92ක් තරම් දුරට එල්ලවූ අතර හය විස්සයි 20 තරගයක වැඩිම දුරක් ගිය පස්වැන්නය.

ඉසතුල්ලා දව්ලාට්සායි යැවූ 19වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමටලූක් රයිට් සමත් විය. කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන නායක නව්රෝස් මන්ගල් දිනා එංගලන්තයට ආරාධනා කළ අතර පළමු ඕවරයේදීම ක්‍රෙග් කීස්වෙටර් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යැවීමට ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක ෂාෆූර් සද්රාන් සමත් විය.

එංගලන්තයට පළමු ඕවරයේදී ඇෆ්ගනිස්තානයෙන් එල්ලවූ පීඩනයෙන් මිදීමට අනෙක් ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් සමග එක්වූ ලූක් රයිට් සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ දෙවැනි කඩුල්ලට ඇලෙක්ස්-රයිට් සබදතාව ලකුණු 69ක් වීමය. ඇලෙක්ස් හේල්ස් හතරේ පහර 5ක් සමග පන්දු 27කදී ලකුණු 31ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට ලක්විය. බට්ලර් පන්දු 7කදී ලකුණු 15ක් හා බැරිස්ටව් පන්දු 5කදී ලකුණු 12ක් ලබා ගත්තේය.

එංගලන්තය කඩුලු 5කට ලකුණු 196(20) ඇලෙක්ස් හේල්ස් 31, ලූක් රයිට් නොදැවී 99, එඩින් මොර්ගන් 27, ජොස් බට්ලර් 15, ජොනී බෙයර්ස්ටර් 12 (ෂාපූර් සර්දාර් 24/1, ඩව්ලට් සර්දාර් 22/1, ඉසතුල්ලා දව්ලාට්සායි 56/2)

ඇෆ්ගනිස්තානය ලකුණු 80(17.2) ගුල්බෝඩින් නායිබ් 44, නව්රෝස් මන්ගල් 8, කරීම් සදීක් 5, ෂාෆූර් සද්රාන් 9 (බ්‍රෝඩ් 10/2, ඩර්න්බැච් 16/2, පටෙල් 6/2 , ස්වෝන් 22/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා