ඉතිහාසය වෙනස් කළ නායකයෙක් !

ඉතිහාසය වෙනස් කළ නායකයෙක්!

චිනුවා අචෙබෙ යනු අප්‍රිකානු සාහිත්‍යයේ ප්‍රධාන වීරයා ය. ඔහු සමස්ත අප්‍රිකාවට ම පොදු වාක්‍යයක් නිතර කිය යි. එනම් අපට අවශ්‍ය හොඳ නායකයන් බව ය. එය සත්‍යයෙකි. ලෝකයේ රටවල් එකසිය අනූතුනට ම පොදු සත්‍යයෙකි. අප්‍රිකාවේ සෑම රාජ්‍යයකටම පාහේ අපූරු සම්පත් තිබේ. නයිජීරියාවට, සුඩානයට ලිබියාවට ඛනිජතෙල් ය. දකුණු අප්‍රිකාවට රත්තරන් ය. යනා දී ලෙසින් ඊට නිදසුන් සැපයිය හැකි ය. ඛනිජ සම්පත් පමණක් නො ව මානව සම්පත ද අප්‍රිකාවට ශක්තියකි. එහෙත් බුද්ධිමත් හා පරිණත නායකයන් නැතිකම නිසා අප්‍රිකාවේ වර්ණභේද වාදය පවතී. ගෝත්‍රවාදය පවතී. ආගම්වාදය පවතී. ත්‍රස්තවාදය පවතී. මෑතකදී සුඩානය රටවල් දෙකක් බවට පත්වූයේ ද නායකයන් පිළිබඳ ගැටලුව නිසා ය.

නායකයා යනු කවරෙක් ද? ඔහු පරිණත විය යුතු ය. බුද්ධිමත් විය යුතු ය. කාටත් සමසේ සැලකිය යුතු ය. ඒ සියල්ලට ම වඩා රටට හා ජනතාවට ආදරය කළ යුතු ය. ඉතිහාසය අමතක කරන නායකයාගේ ගමන කෙටි වනු ඇත. එක් සමාජ කණ්ඩායමකට පමණක් අවස්ථා ලබා දෙන නායකයාගේ ගමන ද කෙටි වනු ඇත. නායකයා අභීත පුද්ගලයකු ද විය යුතුªය. අභියෝගවලට නිබයව මුහුණ දිය යුතු ය. එබඳු නායකයෙක් අපට සිටී. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. එබඳු ප්‍රකාශයක් කිරීමෙහි කිසිදු අතිශයෝක්තියක් නැත.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ 2005 නොවැම්බර් 17 දා ය. එතැන් සිට මේ වනතුරු පැවැත්වූ සියලු මැතිවරණවල ජයග්‍රහණය සිය පක්ෂයට ලබා දුන් මේ නායකයාගේ රාජ්‍ය පාලනයට දින 2500ක් සම්පූර්ණ වී තිබේ. ගෙවී ගිය ඉතිහාසය පිළිබඳ තක්සේරුවක් කිරීමට කදිම අවස්ථාවක් දැන් උදා වී ඇත. මේ පිළිබඳ දේශපාලන විද්‍යාත්මක විග්‍රහයක යෙදීමට නම්; එදා ශ්‍රී ලංකාව පැවැති අවදානම් සහගත තත්ත්වයද සැලකිල්ලට ගනිමින් නූතන ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික තත්ත්වය ද අනාගත ශ්‍රී ලංකාවේ ඉලක්කයන්ද විමැසුමට ලක් කළ යුතු ය.

2005 වන විට උතුර හා නැෙඟනහිර වෙන ම රාජ්‍යයක් ලෙස පැවැතිණි. එදා අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ ද අනුග්‍රහය මත කොටි සංවිධානය සමඟ ගිවිසුමක් අස්සන් කර තිබිණි. එම ගිවිසුම වෙන ම රාජයකට අවශ්‍ය පදනම සකස්කර එය නීත්‍යානුකූල කර තිබූ අතර සාම ගිවිසුම නම් ව්‍යාජ නාමයකින් හඳුන්වා දී තිබිණි. කොටි සංවිධානයේ පොලිස්, බැංකු, පරිපාලන ඒකක, කොටි උසාවි පවත්වමින් උතුර හා නැඟෙනහිර පළාත්වල සම්පූර්ණ බලය ප්‍රභාකරන් වෙත පවරාගෙන තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ මතය වූයේ කොටි සංවිධානය ආයුධ බලයෙන් පරාජය කළ නොහැකි බව ය. එහි අනියමාර්ථය වූයේ ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අනුමත කිරීම හා ඊට අවනත වීම ය. බටහිර මතය ද එය ම විය. එජාපයේ පාලකයන් කටයුතු කළේ බටහිර බලවත් රාජ්‍යයන්ගේ මතයට හා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ය. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් නොවන්නට සුඩානය මෙන් ශ්‍රී ලංකාව ද දෙකට කැඩී යනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී වැඩි කාලයක් යන්නට පෙර රනිල් - ප්‍රභා ගිවිසුම අහෝසි කළේ ය. එය ඓතිහාසික ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය.

අදටත් ලෝකයේ රටවල් අසූ ගණනක අඩු - වැඩි වශයෙන් සිවිල් යුද්ධ පවතී. ත්‍රස්තවාදය පවතී. ආගමික ගැටුම් පවතී. ජාතිවාදී ගැටුම් පවතී. මෙයින් වඩාත් බලවත් වන්නේ ත්‍රස්තවාදී ගැටලුව ය. ත්‍රස්තවාදය විසැඳීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූයේ ඊට දේශීය විසඳුමක් ද ඉදිරිපත් කරමින් ය. ඔහු ඉතිහාසයෙන් පාඩම් උගෙන හමුදාව ශක්තිමත් කළේ ය. එය ප්‍රතිසංවිධානය කළේය. ත්‍රස්තවාදය පරාජය කළ හැකිය යන මතය පළමුවරට මෙරට බුද්ධිමතුන් පිළිගන්නට වූයේ 2007 දී තොප්පිගල අල්ලා ගැනීමත් සමඟ ය. එජාප නායකයන් තොප්පිගල ජයග්‍රහණය ගැන විහිළු කතා පතුරවන්නට වුණද 2009 දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කළ පසු මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකාවේ රණවිරුවන් මුළු ලෝකයේ ම පිළිගැනීමට ලක් විණි.

මහින්ද රාජපක්ෂ මහතා පරිණත දේශපාලකයකු බව සනාථ කරන ප්‍රධාන කරුණු කිහිපයක් දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබේ. පළමුවන්න විදේශ ප්‍රතිපත්තිය යි. ඔහු ඉන්දියාව - පාකිස්ථානය යන අසල්වැසි රාජ්‍යයන් සමඟ මෙන් ම චීනය හා රුසියාව වැනි දැවැන්ත රාජ්‍යයන් සමඟ ද ගැඹුරු සම්බන්ධතා පවත්වයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර සමඟ අමනාපයක් නැති සේ ම ඉරානය හා ඉස්ලාම් රටවල් සමඟ දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යයි. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින ලතින් අමෙරිකානු රටවල් ද මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ය. දෙවන්න දැවැන්ත ආර්ථික වැඩසටහන් ආරම්භ කිරීම ය. වරායවල්, ගුවන් ;තාටුපොළවල් හා අධිවේගී මාර්ග අලුතින් ඉදි වූයේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ය. තෙවන්න අඛණ්ඩ ලෙස දේශපාලන බලය තහවුරු කර ගැනීම ය. තම පක්ෂයේ විරසක හා අමනාපකම් පක්ෂයට හානියක් නොවන අයුරින් විසදා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දක්ෂ ය. ඔහුගේ නායකත්වය කව්රුත් පිළිගනිති. එලෙස ම ඔහුගේ විසැඳුම් ප්‍රායෝගික ය.

මේ වන විට දැවැන්ත ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ. ආයෝජකයන්ගේ පැමිණීම ද, සංචාරකයන්ගේ පැමිණීම ද ඉහළ ගොස් තිබේ. ආනයන සීමා කරමින් අපනයනය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබේ. ගම නැඟුම, දිවි නැඟුම, මග නැගුම, පුර නැඟුම වැනි වැඩ සටහන් විශේෂ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. මේ හැරෙන්නට උතුරට හා නැඟෙනහිර විශේෂ සංවර්ධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක ය. උතුරට - උතුරු වසන්තය යි. නැඟෙනහිරට නැෙඟනහිර නවෝදය යි. මේ වැඩ සටහන්වල ප්‍රගතිය ගැන ඉන්දියාව ද තෘප්තිමත් ය. ත්‍රස්තවාදය උපන්බිම අංශ දෙකකින් සංවර්ධනය කිරීම ආණ්ඩුවේ පිළිවෙත ය. එක් අංශයකට භෞතික සංවර්ධනය අයත් ය. අනෙක් අංශයට තරුණ පුනරුත්ථාපන වැඩසටහන් අයත් ය.

දකුණු ආසියාවේ ශක්තිමත් ම රාජ්‍ය පාලනය හා නායකත්වය ශ්‍රී ලංකාවට හිමි වන බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් ගේ මතය වේ. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු මෙතෙක් පහළ වූ කිසිඳු රාජ්‍ය නායකයෙකු මෙතරම් ප්‍රතාපවත් ලෙස තම පාලන කටයුතු කරගෙන ගොස් නැත. ඔහු ඉතිහාසය වෙනස් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා