සණස විනෝද චාරිකා බෝට්ටුව පස් දෙනකු එක්කම මූදට බිලි

සණස විනෝද චාරිකා බෝට්ටුව පස් දෙනකු එක්කම මූදට බිලි

බේරුවල ප්‍රදීපාගාරය නරඹා එද්දී වූ විපත

ජීවිත ආරක්ෂක කබා නෑ: තව දෙදෙනෙක් රෝහලේ

බෝට්ටුව පැද වූ දෙදෙනා අත්අඩංගුවේ

ඡායා - අතුරුගිරිය විශේෂ වික්‍රම සම­ර­සිංහ

බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට විනෝද චාරිකාවක ගිය සණස සාමාජිකයන් රැගත් බෝට්ටුවක් ප්‍රදීපාගාරයේ සිට නැවත වෙරළට එද්දී පෙරැළීයෑමෙන් පස් දෙනකු මිය ගිය අතර දෙදෙනෙක් දුශ්සාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කරනු ලැබූහ.

ඔවුන් බේරුවල රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ අනතුරට පත්ව ඇත්තේ තලංගම දකුණ ප්‍රදේශයෙන් චාරිකාවක් සඳහා බේරුවලට පැමිණි තලංගම දකුණ සණස සංවර්ධන සමිතියේ සාමාජික පිරිසකි.

මියගිය පිරිස අතර එක් කාන්තාවක් ද වෙයි. මිය ගිය පුද්ගලයන් තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මහජන බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුවකු වූ බත්තරමුල්ල පැලවත්ත දකුණ තලංගම, 609/4 දේසිවන මාවතේ පදිංචිකරුවකු වූ චන්ද්‍රසිරි නන්දකුමාර (අවු. 59), ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදේශකවරයකු වූ පැලවත්ත දකුණු තලංගම අංක 830 ස්ථානයේ පදිංචි කේ. ඩබ්ලිව්. ජයවර්ධන (අවු. 72), කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ තලංගම සණස බැංකුවේ සභාපති, බත්තරමුල්ල, දකුණු තලංගම පසංධි මාවතේ, 04 වන පටුමගේ පදිංචිකරුවකු වූ ඩී. ජී. ගුණරත්න (අවු. 64), ලේක්හවුස් ආයතනයේ විශ්‍රාමික යන්ත්‍ර ක්‍රියාකරුවකු වූ තලංගම දේවසිංහ මාවතේ පදිංචි එල්. සිරිසේන (අවු. 72) සහ ඔහුගේ භාර්යාව වූ මියුලින් සීලවතී (අවු. 66) යන අයයි.

දකුණු තලංගම අංක 629 හි පදිංචි කුරුවිටගේ පි‍්‍රන්ස් මානෙල් (අවු. 63) සහ තවත් කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටිති.

සණස සමිතියේ සාමාජිකයන් 109 දෙනෙකු පෙරේදා (22) දා වාර්ෂිකව විනෝද චාරිකාවට එක් වෙමින් බේරුවලට පැමිණ කණ්ඩායම් වශයෙන් ප්‍රදීපාගාරය නැරඹීම සඳහා බෝට්ටු කිහිපයක නැගී එහි ගොස් තිබේ.

එසේ ගිය පිරිස ප්‍රදිපාගාරය නරඹා ආපසු එමින් සිටිය දී මේ අවාසනාවන්ත සිද්ධිය වී ඇතැයි අනාවරණය වූ බව බේරුවල පොලිසිය සඳහන් කරයි. බෝට්ටුව පෙරැළෙන අවස්ථාවේ එය පැදවූ පුද්ගලයන් දෙදෙකු ඇතුළුව එහි පුද්ගලයන් දහතුන් දෙනෙකු ගමන් කර ඇති අතර බෝට්ටුව පැදවූ දෙදෙනා බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි මගීන් හය දෙනා මුහුදට වැටී සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් ගේ ජීවිත බේරා ගැනීමට අවට ප්‍රදේශවාසීන් සහ පොලිසිය ක්‍රියා කර ඇත. බෝට්ටුව පැදවූ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අනාරක්‍ෂිත ලෙස ජීවිත ආරක්‍ෂක කබා ලබා නොදී මගීන් පිරිසක් යාත්‍රාවේ රැගෙන යෑම හමුවේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පුද්ගලයන් දහතුන් දෙනෙකු බෝට්ටුවේ ගමන් කිරීමේදී ඇතිවූ දැඩි සුළං තත්ත්වය මෙම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මිය ගිය අයගේ සිරුරු කළුතර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන එනු ලැබිණි. බේරුවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා