රට වැසියන් ආගම දහමට නැඹුරු කිරීම රට සංවර්ධනය වගේම අත්‍යවශ්‍ය දෙයක්

රට වැසියන් ආගම දහමට නැඹුරු කිරීම රට සංවර්ධනය වගේම අත්‍යවශ්‍ය දෙයක්

- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

අද මේ රටේ ජනතාව අතර වැදගත්ම අවශ්‍යතාව වෙලා තිබෙන්නේ රටවැසියන් ආගමික පැත්තට යොමු කිරීමයි. අපේ රට සංවර්ධනය වනවාත් සමඟම අපේ ජනතාවගේ සංවර්ධනයත් ඇතිවිය යුතුයි. විශේෂයෙන්ම සමහර පළාත්වලින් අපට අසන්නට ලැබෙන දේවල් නැති කිරීම සඳහා ආගමික නැඹුරුවක් ඇති කළ යුතුව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ හිනිඳුම මැතිවරණ කොට්ඨාසයේ වත්තහේන ශ්‍රී සුචරිතෝදයාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 75ක පමණ වියදමින් ඉදි කළ ධර්මශාලා මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදීය.

විහාරාධිපති, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති වත්තහේන මලියදේව සහ කටුදොර ජීවානන්ද හිමිවරුන්ගේ සහ දායක සභාවේ ලේකම් නිශාන්ත හිරිමුතුගොඩ මහතා ඇතුළු උත්සව කමිටුවේ ඉල්ලීම පරිදි ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමැති පියසේන ගමගේ මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ‍ෙම් අවස්ථාවට සහභාගි විය.

‍ෙම් උත්සව සභාවේ මුලසුන උසුලනු ලැබූවේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගලාභිධාන නාහිමියන් විසිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.

අද මේ විහාරස්ථානයේ ධර්ම මන්දිරය විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ‍ෙම් විහාරස්ථානයේ විහාරාධිපති මලියදේව ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.

මට උන්වහන්සේ සම්බන්ධ වුණේ වර්ෂයක් පාසා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ජය පිරිත වෙනුවෙන් සෑම පළාතකින්ම භික්ෂූන් වහන්සේලා වැඩම කරන අවස්ථාවේදීය. සෑම වසරකම උන්වහන්සේ වැඩම කරලා ඒ පිරිත් ධර්ම දේශනාව සාර්ථක කර ගැනීමට අපට සහයෝගය ලබා දුන්නා.

විශේෂයෙන්ම අද මේ රටේ ජනතාව අතර වැදගත්ම අවශ්‍යතාවයක් වෙලා තිබෙන්නේ අපේ රටේ වැසියන් ආගමික පැත්තට යොමු කිරීමයි. අද අපට දියුණුවක් ලබනවා වගේම අපේ රට සංවර්ධනය වෙනවාත් සමඟම අපේ ජනතාවගේ සංවර්ධනයත් ඇතිවිය යුතුයි.

විශේෂයෙන්ම අපිට අහන්නට ලැබෙන දේවල් බලන්න. මේ රටේ සමහර පළාත්වල සිදුවන අපරාධ වගේ දේවල් නැති කිරීම සඳහා ආගමික නැඹුරුවක් ඇති කළ යුතුව තිබෙනවා. හාමුදුරුවරු මුලිකත්වය අරගෙන මෙවැනි පළාත්වල ධර්ම ශාලා වගේ දේවල් ඉදි කිරීම ඉතා කාලෝචිතයි.

ඒ වගේම අපි දැක්කා පසුගිය දිනවල කපිලවස්තු සර්වඥ ධාතු වැඩම කළ අවස්ථාවේදී සෑම පළාතකින්ම එය වැඳ පුදා ගැනීමට කොපමණ ජනතාවක් පැමිණියාද කියන එක. ඉන්දියානු මහ කොමසාරිස්තුමා පුදුමයට පත්වුණා. ඉන්දියාවේ කෞතුකාගාරයක තැන්පත්කරල තිබෙන බුදුන් වහන්සේගේ ඒ කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවා ගැනීම ලංකාවේ වැසියන් කොපමණ ප්‍රමාණයක් එය වැඳ පුදා ගැනීමට පැමිණියද කියන කාරණය ගැන. මේ දිහා බැලුවහම අපට පෙනී යනවා ජනතාව බෞද්ධ ධර්මය වෙනුවෙන් කොපමණ නැඹුරුවෙලාද කියන කාරණය. ඉතින් මේ බෞද්ධ ධර්මය කෙරෙහි නැඹුරු වනවාත් සමඟම බුද්ධාගමේ ප්‍රකාශ කර තියෙන ආකාරයට අපේ ජීවිත හැඩගස්වා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා.

මෙවැනි වකවානුවක ධර්ම ශාලාවක් නිර්මාණය කරලා මේ පළාත්වාසීන්ට ධර්ම දේශනා කිරීමට හැකියාවක්, ධර්ම ශ්‍රවණය කිරීම හැකියාවක්, ඇතිවන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් කාර්යයක්. එවැනි දෙයක් කිරීමට මූලිකත්වය අරගෙන කටයුතු කිරීම ගැන අප ස්තුතිවන්ත විය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා- මේ රටේ ඉතිහාසය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකළ ඩී. ඒ. රාජපක්ෂ පරම්පරාවේ අය අද මේ රටේ විශාල මෙහෙයක් කරනු ලබනවා. අද රටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපතිතුමත් ඒ පවුලෙන් ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට අපේ චමල් රාජපක්ෂ කතානායකතුමා අද කටයුතු කරනවා. ඒ වගේම මේ රටේ වගකීම් රාශියක් තිබෙන බලවත් අමාත්‍යාංශයක් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය භාරව බැසිල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනවා. ඒ විතරක් නෙමේ ඊළඟ පරම්පරාවේ දේශපාලන වශයෙන් අද ඉතාම කැපීපෙනෙන චරිත මතුවෙලා තිබෙනවා.

ඌව පළාත් මහ ඇමැතිතුමා, ඒ වගේම තරුණ මන්ත්‍රීවරු අතර බොහොම අවධානය දිනාගත්තු නාමල් මන්ත්‍රීතුමා වැනි උදවිය මේ පරපුරෙන් බිහිවී තිබෙනවා. ඒ සියලුදෙනාම අතරින් අපේ රටේ තීරණාත්මක අවස්ථාවක සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට කැඳවා ගත් එක ගැන පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලුදෙනාම සතුටු වෙනවා. ඒ නිසා මෙය සම්භාවනීය උත්සවයක්.

ෙම් උත්සවය අමතා මැටිවිලිය සාරානන්ද පිරිවෙන් විහාරාධිපති මැටිවිලියේ පඤ්ඤාකිත්ති නාහිමි, ඇතුල්කෝට්ටේ මහින්දාරාමාධිපති මීගහතැන්නේ චන්දසිරි නාහිමි, වත්තෙහේන සුචරිතෝදයාරාමාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති වත්තහේන මලියදේව, සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල යන නාහිමිවරුද ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ මහතාද කතා කළ අතර දෙකඩහේනේ කුසලඤාණ, හොරන්ගල්ලේ සමිද්ධි, ලේල්වල ජිනවංශ, පොරවගම සෝමාලංකාර, පොල්දූගෙයි රේවත, හොරන්ගල්ලේ විජිත, මාපලගම නන්ද, මැයිහේනේ තිස්ස යන ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයද සහභාගි වූහ.

ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ ලේකම් ලක්ෂ්මන් හුළුගල්ල, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන චම්ලි විතානාච්චි, ආනන්ද පද්මසිරි, විජේපාල හෙට්ටිආරච්චි, රන්දිම ගමගේ, සම්පත් අතුකෝරළ, ලසන්ත විජේනායක, නියාගම ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසාද් වීරක්කොඩි, නියෝජ්‍ය සභාපති චරිත් අසේල යන මහත්වරුද සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා