මිලියන 60000ක් වැයකරමින් 2013 දැයටකිරුළ භූමිය සංවර්ධනය කෙ‍ෙර්

මිලියන 60000ක් වැයකරමින් 2013 දැයටකිරුළ භූමිය සංවර්ධනය කෙ‍ෙර්

අම්පාර හාඩි ආයතන භූමියේ දී පෙබරවාරි 5දා විවෘත වන දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනයත් සමඟ අම්පාර නගරය සහ අවට ගම්මානවල යළි පිබිදීමක් සිදුකරමින් හාඩි ආයතනය අංගසම්පූර්ණ තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරේ.

දැයට කිරුළ 2013 ප්‍රදර්ශන භූමිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් සහ ප්‍රදර්ශනය පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ ඉරිදා (23) උදේ සිදු විය.

තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිදුවිය. ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා අම්පාර – ඉගිනියාගල මාර්ගයේ ඉදි කරන ගොඩනැඟිල්ල ප්‍රදර්ශනය අවසාන වූ වහාම හාඩි තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250ක් දෙනාගේ නේවාසිකාගාරයක් බවට පත්කරන බව ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පැවසීය.

හාඩි ආයතනයේ සතු ඉඩම් අක්කර 100ක් දැයට කිරුළ 2013 ප්‍රදර්ශනය වෙනුවෙන් සංවර්ධනය කෙරෙන අතර රුපියල් මිලියන 60000ක් වැය කෙරේ. හාඩි ආයතන භූමියේ පැරණි ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීම, කානු පද්ධති පිළිසකර කිරීම, ජල සම්පාදන, විදුලිය, සනීපාරක්‍ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග පද්ධති ඉදි කිරීම, අම්පාර නගරයේ සිට හාඩි ආයතනය දක්වා කිලෝමීටර් 3 1/2ක් දුර මාර්ගය දෙපස සහ හාඩි ආයතන භූමියේ ස්ථිර විදුලි පහසුකම් සැපයීම, හාඩි සේවක නිල නිවාස ප්‍රතිසංස්කරණය ද මේ අනුව සිදු කෙරේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රි‍යාණි විජේවික්‍රම, අම්පාර නගර සභාවේ ඉන්දික නලින් ජයවික්‍රම, අම්පාර මහ දිසාපති නීල් ද අල්විස්, අතිරේක දිසාපති අසංක අබේවර්ධන, විදුලි සන්දේශ අමාත්‍යාංශයේ ලේකම් එච්. ඇම්. ගුණසේකර, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලංකාතිලක ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේනක තලගල යන මහත්වරු ද පොලිස් සහ ආරක්‍ෂක හමුදා ප්‍රධානිහු මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා