ජනපතිගේ තීරණයට අප එරෙහි වන්නේ නෑ

ප්‍රධාන ඇමැති තනතුර

ජනපතිගේ තීරණයට අප එරෙහි වන්නේ නෑ

අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයෝ කියති

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුර පිළිබඳ ජනාධිපති තුමා සහ රජය ගනු ලබන තීන්දුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක නියෝජිතයකු එරෙහි වන්නේ නැතැයි ඔවුහු එකහඬින් පවසති.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය කාට ලබා දුන්නත් ඒ තීරණය අප සියලු දෙනා ඒකමතිකව අනුමත කරන බවද එයට විරෝධය පා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන බවට ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවද ඔවුහු පවසති.

අනුරාධපුර මහ නගර සභාවේ හා ප්‍රාදේශීය සභා විසි එකකට අයත් සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරු එකසිය පනස් හතර දෙනෙකුගෙන් එකසිය තිස් දෙනකු ඉල්ලා අස්වන බවට දිව්රුම් ප්‍රකාශ ලබා දී නැතැයි ද පළාත් පාලන නියෝජිතයෝ පවසති.

අනුරාධපුර මහ නගරාධිපති එච්.පී. සෝමදාස මහතා - ජනාධිපතිතුමා ගන්නා කිසිදු තීරණයකට පළාත් පාලන නියෝජිතයන් එරෙහි වන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරනවා. ජනාධිපතිතුමාට අනියම් ආකාරයෙන් සිදු කරමින් සිටින තර්ජනය අප තරයේ හෙළා දකිනවා.

පදවිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත තිලකරත්න මහතා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදයක් තියෙනවා. එහි රැස්වීමකට සහභාගි වී පැමිණීමේ ලේඛනයක අත්සන් කළා. මහ ඇමැති තනතුර ලබා නොදුන්නොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බවට අත්සන් කළා යැයි කියන කථාව ගැන අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමා නිවැරදි තීරණ ගන්නා නායකයෙක්. අපිට එතුමා විශ්වාසයි. එතුමා ගන්න තීරණය අප මන්ත්‍රීවරුන් සියලු දෙනාම පිළිගන්නවා.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පියතිස්ස මහතා

මන්ත්‍රී සංසදය එවැනි තීන්දුවක් ගෙන නැත. අමූලික බොරු කියා ජනාධිපතිතුමා මුලා කරන්න ගන්නා උත්සාහ අප තරයේ හෙළා දකිනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති දේශකීර්ති යූ.බී. සිරිසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ගෙන ඇති තීරණටත් ජනාධිපතිතුමා ගනු ලබන තීරණයටත් අප හිස නමනවා. මහ ඇමැති තනතුර නිසා කිසිම මන්ත්‍රීවරයකු පක්ෂය හැරදා යන්නේ නැත. තමන් ගොඩ යන්න අනුන් බිල්ලට දීම කැත වැඩක්. නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී කුමුදිනී බස්නායක මහත්මිය

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදයේ මමත් ඉන්නවා. ජනාධිපතිතුමා ගන්නා තීරණය අප අවිවාදයෙන් පිළිගන්නවා. මේ සංසදය අප පිහිටුවා ගත්තේ අපේ අවශ්‍යතාවට මිසක් දේශපාලන චරිතවලට කඩේ යන්න නෙවෙයි. මෙහිදී ප්‍රාදේශීය සභා සභාපති හා මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා