|
||||
පළාත් සභා ජය ජනතා ජයග්‍රහණයක් කිරීමට සියලු නියෝජිතයන් කැපවිය යුතුයිජයගත් සන්ධාන අපේක්ෂකයන්ට ජනපති අවධාරණය කරයි පළාත් සභා මැතිවරණයෙන් ලත් ජයග්‍රහණය පෞද්ගලික ජයග්‍රහණයක් නොව ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට සියලු දේශපාලන නියෝජිතයන් කැප විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ලැබූ ජයග්‍රහණයෙන් උදම් වනවාට වඩා තමා සතු වගකීම් හඳුනා ගනිමින් කටයුතු කළ යුතු බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට සියලු දෙනා එකාවන්ව අත්වැල් බැඳගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණ දිය හැක්කේ සියලුදෙනා එකාවන්ව සහෝදරත්වයෙන් කටයුතු කිරීමෙන් පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ උතුරු මැද හා සබරගමුව පළාත් සභාවල ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (23) පැවැති සුහද හමුවට එක‍්වෙමිනි. මැතිවරණයෙන් ලත් විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීමට මෙම සුහද හමුව කැඳවා තිබිණ. රට පිළිබඳ වගකීමක් විශාල වගකීමක් පළාත් සභාවලටත් පැවැරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මහත් බලාපොරොත්තුවකින් සිටින බවත් එම බලාපොරොත්තු ඉටු කිරීම දේශපාලන නියෝජිතයන්ගේ වගකීම බවත් පැවැසීය. ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |