හාරිස්පත්තුව මගුරදෙණියේ පවුල් අසූ එකක් ජල පහසුකම් නැතිව අසීරුවේ

හාරිස්පත්තුව මගුරදෙණියේ පවුල් අසූ එකක් ජල පහසුකම් නැතිව අසීරුවේ

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොරණෑගමට මායිම්ව පිහිටි මගුරදෙණිය ජනපදයේ පවුල් 81 ක් සඳහා ජල පහසුකම් නොමැතිකමෙන් ගැටලු රැසක් පැන නැගී ඇත.

මෙම ගම්මානය සඳහා 1985 වසරේ ඉදිකරදුන් පොදු නළ ළිඳ දැනට අක්‍රියව පවතී.

දැනට මෙම ජනපදවාසී ජනතාවට පානීය ජලය ලබා ගැනීම සඳහා ගමට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි පිිඟාඔයට යාමට සිදුව තිබේ.

නෑමටද පිගාඔයේ ජලය ලබා ගනිති. නමුත් දීර්ඝ කාලීනව පවත්නා නියඟය නිසා පිගාඔයේ ජලය නැත. පිගාඔය ආශ්‍රිත භූමියේ කුඩා වළවල් හාරා ඒවායින් ජලය ගෙන පෙරා ගැනීමට සිදුවීම තවත් ගැටලුවකි.

යම් තරමක ආර්ථික ශක්තියක් තිබෙන පිරිස වාහනවලට මුදල් ගෙවා කුඩා බඳුන්වලට ජලය ගෙන්වා ගන්නේ කිලෝමීටර් තුනකට වැඩිදුරින් පිහිටි මැදවෙල ප්‍රදේශයෙනි.

මේ සම්බන්ධව අදහස් දක්වන ඩී. එම්. රත්නායක මහතා

අපට තිබෙන විශාලතම ප්‍රශ්නය තමයි ජල ප්‍රශ්නය. අප කියන්නේ ගමට තිබෙන මෙම එකම නළ ළිඳ ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට අලුත්වැඩියා කර දෙන්න. නැතිනම් බවුසර් වලින් හරි අපට ජලය ලබා දෙන්න.

ඒ වගේම හාරිස්පත්තුව ජල යෝජනා ක්‍රමය යටතේ අපට ජල පහසුකම් දෙන්න. මේ ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව හෝ අවධානය යොමු කරනවා නම් අප අගය කරනවා.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවෙන් කළ විමසුමකදී කියා සිටියේ දැනට මෙම නළ ළිඳ අලුත්වැඩියා කරදීමට පියවර ගෙන තිබෙන බවය.

එමෙන්ම ස්ථිරවම ජලය ලබාදීමට හාරිස්පත්තුව ජල යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම සම්බන්ධව කතා කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා