වැස්සට ඕවර් අඩු වන තරග දුෂ්කරයි පන්දු රැකීම දියුණු කරගත යුතුයි

වැස්සට ඕවර් අඩු වන තරග දුෂ්කරයි පන්දු රැකීම දියුණු කරගත යුතුයි

- මහේල ජයවර්ධන

තම කණ්ඩායමේ පන්දු රැකීම තව දුරටත් දියුණුකරගත යුතු බවත්, වර්ෂාව හේතුවෙන් ඕවර ප්‍රමාණය අඩුවන තරග නිරන්තරයෙන්ම දුෂ්කර තරග බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.

විස්සයි20ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති 'සී'කාණ්ඩයේ මූලික වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 32කින් පරාජයවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී මහේල එසේ පැවැසීය.

වර්ෂාව හරස්වීමේ හේතුවෙන් එක් පිලකට ඕවර 7 ක් බැගින් සීමා වූ මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 7 අවසානයේ කඩුලු 4කට ලකුණු 78ක් ලබාගත් අතර ශ්‍රී ලංකාවට ඕවර 7 නිමාවනවිට රැස්කරගත හැකිවූයේ කඩුලු 5කට ලකුණු 46ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ඒබී ඩිවිලියර්ස් පන්දු 13කදී හත‍‍රේ පහරක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 30ක් ලබාගත් අතර හෂීම් අම්ලා පන්දු 9කදී හතරේ පහර3ක් සමග ලකුණු 16ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව 13කි. කුමාර් සංගක්කාර සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 13 බැගින් ලබාගත් අතර නායක මහේල ජයවර්ධන ලකුණු 4කටත්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු ලබාගැනීමට පෙරත් දැවීගියේය. පන්දු යැවීමේ දී ඩේල් ස්ටේන් කඩුලු 2ක් දවාලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ දී අජන්ත මෙන්ඩිස් වෙනුවට රංගන හේරත් කැඳවා තිබූ අතර දකුණු අප්‍රිකාව රොබින් පීටර්සන් වෙනුවට පෆ් ඩු ප්ලෙසිස් කණ්ඩායමට එක්කොට තිබිණි. අජන්ත සුලු ආබාධයකට ලක්වී සිටින අතර ඉදිරියේ දි වැදගත් තරග පැවැත්වෙන බැවින් ඔහු මේ තරගයට යොදා ගනිමින් අවදානමක් ගැනීමට තමාට අවශ්‍ය නොවූ බව මහේල සඳහන් කළේය.

අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ඉදිරියෙන් පසුවන කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව පරාජය කිරීම ඉතා සතුටුදායක කරුණක් බව දකුණු අප්‍රිකානු නායක ඒබී ඩිවිලියර්ස් පැවැසීය. තම කණ්ඩායම දැන් සුපිරි අට වටයට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූයේ පස්වරු 6.00ටය. ඒ වනවිට පැය 2කුත් මිනිත්තු 30ක් අපතේ ගොස් තිබිණි.

සුපිරි අට වටයේ දී ශ්‍රී ලංකාව පළමු කොටසෙන් ද, දකුණු අප්‍රිකාව දෙවැනි කොටසෙන් ද තරග වදිති. ඔස්ට්‍රේලියාව ද මේ වනවිට පළමු කොටසට එක්වී සිටින අතර ඉන්දියාව සහ පාකිස්තානය ද පළමු කොටසට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇත. සෑම කණ්ඩායමක්ම සිය ‍කොටසේ සෙසු කණ්ඩායම් සමග තරග වදින අතර සෑම කණ්ඩායමකටම තරග 3ක් හිමිවනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා