|
||||
කුරුණෑගල වැව් විසිපහක් සංවර්ධනයට තෝරාගෙන
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ දැනට කලක සිට වල් බිහිව යමින් පවතින වාරිමාර්ග වැව්වලින් වැව් 25ක් තෝරාගෙන, “ඒකාබද්ධ වාරිමාර්ග ජල කළමනාකරණ සංවර්ධන වැඩසටහන” යටතේ සංවර්ධනය කිරීමට, වයඹ පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, ගොවිජන සංවර්ධන සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන ඇත. මේ සඳහා ගල්ගමුව, නිකවැරටිය, රඹේ, මහව, නාගොල්ලාගම , රස්නායක පුර, කොබෙයිගනේ, කොටවෙහෙර, කුඩාගල්ගමුව, අවුලේගම, වාරියපොල සහ පඬුවස්නුවර යන ගොවිජන සේවා කමිටු බල ප්‍රදේශවලින් වැව් 25ක් තෝරාගෙන තිබේ. එම වැඩපිළිවෙළ අනුව මෙම වැව්වල රොන්මඩ සහ වල් පැළ සියල්ල ඉවත්කර ගැඹුරුකොට ජලධාරිතාවය වැඩිකිරීමට කටයුතු යොදා ඇත. ඒ ඒ වැව් අයත් ගොවි සංවිධානවලද පූර්ණ සහාය ඇතිව කඩිනමින් මෙම සංවර්ධන කටයුතු නිම කිරීමටත්, එම වැව් යටතේ සිටින ගොවීන්ගේ කුඹුරුවල, යල කන්නයේදී අතිරේක භෝග වගා කිරීමට සහ මහ කන්නයේදී වී වගා කිරීමට අවශ්‍ය වාරිමාර්ග පහසුකම් සැලැස්වීමටත්, සැලසුම්කොට තිබේ. මේ අනුව, එම වැව් 25න්, පඬුවස්නුවර ගොවිජන සේවා කමිටු බල ප්‍රදේශයේ වැලිපිටිය මහවැව සංවර්ධන කටයුතු, පසුගියදා වයඹ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, ගොවිජන සංවර්ධන සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන ඇමැති ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |