මුද්‍රණය සඳහා

 
මනාප පිළිකාවට ප්‍රතිකාර ලැබුණා

මනාප පිළිකාවට ප්‍රතිකාර ලැබුණා

සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ

එදා විදේශ විනිමය මෙරටට ගෙන ආ මහා අපනයන භෝග අද සුළු අපනයන භෝග බවට පත්ව තිබේ. සංවර්ධනයේ ඉලක්ක ජය ගන්නා විට මහා පරිමාණ කෘෂි අපනයනයන් දෙවන තෙවන තැනට පත්වීම ද අරුමයක් නොවන නමුදු ලොව අනර්ඝතම කුළු බඩු නිෂ්පාදනයේ සංකේතය ලෙස ශ්‍රී ලංකාව දිනාගත් ඒ කීර්තිය අදට ද නොනැසී පවතී. මෙහි වාසිය අප රටේ සුළු අපනයන භෝග සඳහා ලබා ගැනීමත් මේවා පෙර පැවැති තත්ත්වයට මහා අපනයන භෝග බවට පත් කිරීමේ ඉලක්කය ජය ගැනීමටත් සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මෙසේ කටයුතු කිරීමේ දී ලැබූ ප්‍රගතිය පිළිබඳ සහ මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳ සුළු අපනයන භෝග ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා සමඟ දිනමිණ කළ සංවාද සටහනකි මේ.

l මහා පරිමාණ අපනයන භෝග වගේ ම සුළු අපනයන භෝග වශයෙන් බෙදීමක් තියෙනවා. මේ බෙදීම සාධාරණ ද?

ඇත්තටම මොන හේතුවක් නිසා මේ සුළු අපනයන භෝග කියන එකේ සුළු යන වචනය එකතු කළා ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් තේ, රබර්, පොල් හැරුණාම, කුරුඳු, එනසාල්, ගම්මිරිස්, කහ, ඉඟුරු, සාදික්කා, කරාඹු, වසාවාසි වගේ කුළුබඩු සඳහා යෙදෙන නමක් තමයි ඔය සුළු අපනයන භෝග කියල හඳුන්වන්නේ. නමුත් අපේ ඉලක්කය වෙන්න ඕනෑ මේ සුළු කියන විශේෂණ පදය ඉවත් කිරීම. මොකද ලෝක වෙළෙඳ පොළේ ලංකාවේ කුළුබඩු සඳහා තමයි වැඩිම ඉල්ලුම තියෙන්නෙ. එයිනුත් ලෝකයේ අනර්ඝතම කුරුඳු නිෂ්පාදනය කරන්නෙ අපේ රටේ. ඉතින් මේක කුළුබඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අධිකාරි බලයක් සහිත මුද්‍රාවක්. ඒක අපි ලෝකය ඉදිරියේ හොඳ වෙළෙඳ පොළක් ඇතිකර ගන්න තැනට පත් කරගෙන එයින් රටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීමේ ක්‍රම වේදයකට යා යුතුයි.

l හොඳයි ඒ ඉලක්කය ජය ගන්න ඔබගේ අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

හැමදාම අප කළේ අමුද්‍රව්‍ය හැටියට නැව් ගණන් මේවා පිටරට පටවපු එක. එයින් අපිට වැඩිය දෙතුන් ගුණයකින් ආදායම් ලැබුවේ පිට රට්ටු. ඉතින් මේවා නිමි භාණ්ඩ හැටියට මෙහෙදීම නිෂ්පාදනය කරලා අපිට පුළුවන්නේ ඒ ආදායම මෙහි රඳවා ගන්න. කුරුඳු ගහේ පංචාංගයෙන්ම නිමි ද්‍රව්‍ය නිපදවීමේ තාක්ෂණයට අපි යා යුතු වෙනවා. ඖෂධ, තෙල්, සුවඳ විලවුන්, රස කාරක හැටියට නිපදවන්න ගෙඩියෙන්, පොත්තෙන්, මලෙන්, කොළෙන්, මුලෙන්, දන්ඩෙන් මේ හැම දේකින්ම ඒ සඳහා නවීන කර්මාන්ත ශාලා අලුතින් ඇති කරලා පුහුණු ශ්‍රමිකයන් පුහුණු කරවලා කර්මාන්තයක් හැටියට ඉදිරියට ගෙන යාමටයි දැන් ක්‍රියා කළ යුත්තෙ. ඒ සඳහා වසරකට හෙක්ටයාර් 3000 ක් අලුතින් වගා කරන්න කටයුතු කරනවා. වසරක් පාසා මෙය අලුත් වෙනවා. හෙක්ටයාර් 1500 ක් පමණ නැවත වගාවක් හැටියට කරගෙන යනවා. අලුතින් පාළු පැළ හිටවනවා. යටි වගාවක් හැටියට පොල් වගාවේ මෙය සිදු කරනවා. අනෙක් භෝග සමඟ මිශ්‍ර වගාවක් හැටියටත් මෙය ව්‍යාප්ත කරනවා. තේ වගාව සහ ගම්මිරිස් වගාව එකට කරන්න පුළුවන්. කාලයක් වගා කළ තේ ඉඩම් නිසරු බිම් ලෙස අත්හැරියා. ඒවා කුරුඳු වගාව සඳහා ඉතාම ඵලදායී ලෙස යොදා ගන්න පුළුවන්.

l හොඳයි දැනට අපේ රටේ කුළුබඩු නිෂ්පාදනයෙන් වාර්ෂිකව ජාතික ආදායමට කොපමණ දායකත්වයක් සපයනවා ද?

වසරකට රුපියල් මිලියන 30,000ක තරම් දායකත්වයක් දැනට සපයනවා. මෙය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමකට ගෙන ආ හැකියි. කොටින්ම ලංකාවේ ජාතික ආදායමෙන් 3% ක පමණ මට්ටමකට මේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තුළින් මෙරටට ආදායම් ඉපැයිය හැකියි. එයයි අපේ ඉලක්කය. ඒ ඉලක්කය කරා යායුතුයි. විශේෂයෙන්ම කුරුඳු ආශ්‍රිතව කෙරෙන කර්මාන්ත තුළින් ජාතික ආර්ථිකයටත් ජාතික ආදායමටත් විශාල දායකත්වයක් ලබා ගන්න පුළුවන්. මහජනතාව ගෙන් විශේෂ උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා මේ කෙරෙහි.

l ඔබ එහෙම කීවට පොදුවේ එය ජනතාවට දැනෙන්න නැහැනෙ?

එහෙම අපට පෙනෙන්නෙ මේ කුරුඳු කර්මාන්තයක් ලෙස තවම නොපවතින නිසා. නමුත් ජනතාවගෙන් ලැබෙන ඉල්ලුම්පත් ප්‍රමාණය ඔවුන් ගේ ඇති උනන්දුව අපට පෙනෙනවා. දැන් බලන්න යටත් විජිත යුගයේ දී මුඩු ඉඩම් පනත ගෙනැල්ල තේ වගා කෙරුවා. අද මිනිස්සු අපෙන් ඉල්ලනවා කුරුඳු වගා කරන්න ඉඩම්. නමුත් මේ තරමින් හරි අද කුරුඳු වගාකරුවන්ට සහන දෙන්නෙ ඔවුන්ගෙ ගෙවතුවල තියෙන කුරුඳු ඉඩම් කෑල්ලට අක්කර 2/1, 1/4 වගේ ඒවාට. නමුත් මහා පරිමාණයෙන් කරන්න කුරුඳු යායවල් නැහැනෙ. ලෝකයේ හොඳම කුරුඳු වැවෙන ලංකාවෙ මේවා අක්කර ගණනින් එක යායට තියෙන කොට ලෝකය පුරා අපේ කුරුඳුවලට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ඒකම ඇතිනෙ කුරුඳුවලට ලෝක වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම අසම සම කරන්න. මම හිතනවා මේ කුරුඳු වගා කරුවන්ට කියල වෙනමම රජයෙන් ඉඩම් යම් ප්‍රමාණයක් වෙන්කරල දුන්නොත් හොඳයි. එවිට අපිට පුළුවන් වෙනවා එහි ගුණාත්මක තත්ත්වය තවත් ඉහළ නංවන්න.

l හොඳයි ඔබගේ අමාත්‍යාංශයට රජයෙන් ලබාදෙන සහයෝගය කොයි වගේ ද?

අයවැයෙන් මිලියන ගණනක් වසරකට ලබාදෙනවා. ගොවියන්ට පැළ ලබා ‍ෙදන්න, තාක්ෂණ උපදෙස් ලබා දෙන්න ඒ වගේම ගොවීන් ඒ පැළ වගා කළාම ප්‍රසාද දීමනාවක් ලබා දෙන්න, මේ මුදල් යොදවනවා. සාමාන්‍ය පරිදි පොහොර සහනාධාරය ලබා දෙනවා.

l ඇත්තටම රජය මඟින් ලබාදෙන මේ තාක්ෂණ උපදෙස් පොහොර සහනාධාරය වගේ දේවලින් ගොවීන් ප්‍රයෝජන ගන්නව ද?

මෙහෙමනෙ ඉතින්, අපේ මිනිස්සු මෙච්චර කල් පුරුදු වෙලා හිටියෙ නැහැනෙ කරාබු ගහට, සාදික්කා ගහට, ගම්මිරිස් වැලට පොහොර ටිකක් දාලා අස්වැන්න සරු කරගන්න, එකක් මිනිස්සු කම්මැලියි.

පාරම්පරික පුරුදු වෙලා හිටියෙ. දැන් අපි මේ අය පුහුණු කරගෙන යනවා. මේ රසායනික පොහොර භාවිතයෙන් බහු වාර්ෂිකව භෝග වගාවෙන් වැඩි අස්වැන්නක් ගන්නෙ කොහොම ද කියන එක ගැන උපදෙස් දෙනවා.

l කාලගුණික දේශගුණික වශයෙන් සුළු අපනයන භෝග වගාවට මෙන්ම හිතකර තත්ත්වයක් අපේ රට පුරා තිබියදීත්, තේ, රබර්, පොල් තරම් ඉහළ තලයට සුළු අපනයන භෝග ගෙන එන්න බැරි වුණේ ඇයි?

තේ, රබර්,, පොල් වලට තරම් බැලුවම රජයෙන් ලබාදෙන මුදල බොහොම සොච්චමයි සුළු අපනයන භෝග වගාවන්ට. අනෙක තමයි තේ, පොල්, රබර් වගාවන් ප්‍රචලිතයි. ආදායමක් ලබා ගැනීමේ පහසුකම තියෙනවා මේවා ඉපැරැණි වගාවන් නිසා. නමුත් කුරුඳු වගේ වගාවන් තාම රටට අලුත්. මේවායේ අස්වැන්න එන්න පටන් ගන්න ටිකක් කල් යනවා. ඒ නිසා මෙයට අවධානය දක්වනවා අඩුයි. අඩු සැලකිල්ල නිසයි එහෙම වෙන්නෙ. නමුත් ඉලක්කයක් කරා යන ගමනක දී රජයේ වැඩි අවධානය මේ සඳහා යොමු කළොත් සුළු අපනයන භෝග කියන නම අපනයන භෝග තත්ත්වයට ගේන්න පුළුවන්.

l සුළු අපනයන භෝග ව්‍යාප්තියට අනාගත පැවැත්මක් ඇතිවෙන්න නම් මොනව ද කරන්න ඕනෑ?

නවීකරණය විය යුතුමයි. විද්‍යාව, තාක්ෂණය, යාන්ත්‍රීකරණය මෙවැනි දේට යොමුකර ගත යුතුයි. මොකද අනාගතයේ මේ ක්ෂේත්‍රයට පිරිසක් එන්නෙත් නැහැ. ඒ නිසා යන්ත්‍ර සූත්‍ර භාවිතයත් අවශ්‍ය වෙනවා. ඉඩම් අක්කර 60 – 70 ප්‍රමාණයේ වගාවන් වලට යා යුතු වෙනවා. නිමි භාණ්ඩ ලෙස අපනයනය කරන්න මෙවැනි ඉලක්ක කරා යා යුතුයි.

l සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහා ඔබ ගත් ක්‍රියා මාර්ග මොනවා ද?

මම අමාත්‍යංශය භාරගෙන දැනට වසර 1 1/2 යි. මේ 1 1/2 තුළ රටේ ගම් දනව්වලට ගිහිල්ල ගොවීන් හමුවෙලා වෙළෙන්දන්, අගය එකතු කරන්නන්, කෘෂි නිලධාරීන් එක තැනකට කැඳවලා ඔවුන් සමඟ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරලා මේ සඳහා සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමුකර ගත්තා.

අනෙක මගේ අමාත්‍යාංශයට අලුතින් උපාධිධාරීන් 255 ක් ලැබුණා. ඉතින් මේ අය හරහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සිටින ගොවි මහතුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ නිසා මුළු රටේම අවධානය මේ දෙසට යොමු කරගන්න ලැබුණා. අවධානය දිනාගන්න එකනෙ ඕනෑම කාර්යයක පළමු පියවර. ඒ හරහා දැන් අපි මේ භෝග ව්‍යාප්තිය ප්‍රචලිත කරනවා.

l හොඳයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය ගත් තීරණය ගැන ඔබගේ මතය මොකක් ද?

මනාප හා අනුපාත ක්‍රමය නිසා එකම කඳවුරේ එකම පක්ෂයේ එකම මතයක් වෙනුවෙන් පෙනී හිටපු අය මරා ගත්තා, කුළල් කා ගත්තා. මේ ක්‍රමයෙන් මහජන මන්ත්‍රී කෙනෙකුට නියමිත බල ප්‍රදේශය මොකක් ද යන්න හොයා ගන්න බැරි වුණා. තමාට හිමි වගකියන මන්ත්‍රීවරයා කවුද කියන ගැටළුව තිබුණා.

එකම කණ්ඩායමේ මන්ත්‍රීවරු සමඟ මිත්‍රත්වය නැතිවුණා. පොදු න්‍යාය පත්‍රය වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඉදිරියට ආවා. ධනය බලය ඉස්මතුවන තමන්ගේ පක්ෂයේ අය සමඟ ඇන කොටා ගත්තා. ඉතාම නරක විදියට දූෂිත ක්‍රමය ඇතිකළා, කුල වාදය, ජාතිවාදය, ආගම් වාදය පැතිරුණා. මෙවැනි දුර්වලකම් නිසා මනාප ක්‍රමය අහෝසි කිරීම ඉතාම හොඳ වැඩක්. මෙය පළාත් පාලන මට්ටමින් විතරක් නෙවෙයි, පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ගෙනයා යුතුමයි.

l රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයාගෙන් ලැබෙන සහය කොහොම ද?

කොටින්ම එතුමාට මාව හඳුන්වල දීලා තිබුණෙ මම එතුමාට ඡන්දයක්වත් දුන්නෙ නැති මිනිහෙක් හැටියට. අනෙක මං ගැන කේලාම් කියපු අය කියල තිබුණේ චන්ද්‍රිකාගෙ මිනිහෙක් කියලා. එහෙම මම ගැන අහපු එතුමා මට කැබිනට් ඇමැතිකමක් දුන්නා කීවම තව මොන කතා ද? ඒ නිසා එතුමා මට ඉහළින්ම සැලකුවා කියලයි මම කියන්නෙ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]