ආදරය අහිමි ළමයින් අපරාධවලට පෙළඹෙනවා

ආදරය අහිමි ළමයින් අපරාධවලට පෙළඹෙනවා

අපයෝජන මඬින්න සංකල්ප පහක්

වැඩපිළිවෙළ ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට ඇතුළත් කෙරේ

පාසල් මට්ටමින් පුළුල් අවබෝධයක්

අධිකාරියේ සභාපතිනිය කියයි

ළමා වියේ හෝ තරුණ වියේ හෝ කායික-මානසික අපයෝජනයකට ලක්වන වින්දිතයන් වැඩිහිටි වියට පත් ව අවස්ථාවක් ලද වහාම තවත් අපයෝජනයක් සිදු කිරීමට හෝ දරුණු ගණයේ අපරාධයකට යොමුවීමට හෝ පෙලඹෙන බව සමීක්ෂණ මඟින් හෙළිදරව් වී තිබේ.

මේ තත්ත්වය අපරාධ රැල්ලක් හෙවත් චක්‍රයක් ලෙස දිගින්-දිගටම සිදුවන බව ද ඒ මඟින් අපරාධවල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ද ඉහත සමීක්ෂණ තවදුරටත් තහවුරු කර තිබේ.

ළමා අපයෝජන හා වෙනත් අපරාධ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මේ තත්ත්වය මැඬපැවැත්වීම සඳහා පස්වැදෑරුම් වැඩපිළිවෙළක් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට එකතු කිරීමට යයි. ළමා අපයෝජන මැඬපැවැත්වීම සඳහා පස්වැදෑරුම් සංකල්පයක් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

පසුගියදාට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව මේ පියවර ගෙන ඇති අතර කඩිනමින් එය සමාජගත කිරීමට ද තීරණය වී තිබේ.

ආදරය, සාමය, අවංකත්වය, යහපත් ක්‍රියාව හා අවිහිංසාව යන සංකල්ප පහ එම ප්‍රතිපත්තියට ඇතුළත් කොට ළමා අපයෝජනයන්ට ලක් වූ හෙවත් වින්දිත දරුවන් හා අපයොජනයන්ට ලක් නොවූ සියලුම දරුවන්ගේ මනසට මේ සංකල්ප ඇතුළත් කිරීම මෙහි අරමුණ වන බව අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය ඊයේ (14) දිනමිණට පැවැසුවාය.

ළමා වින්දිතයන් පසුකාලීනව අපයෝජකයන් බවට පත් වන බවට ‍ෙලා්කයේ සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බවත් දිනෙන් දින උග්‍ර වන මේ අපයෝජන රැල්ල දම්වැලක් ලෙස පුද්ගලයාගෙන් පුද්ගලයාට බැඳී පවතින්නක් බවත් සභාපතිනිය කීවාය.

මූලික වශයෙන් නව පස්වැදෑරුම් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අදහස් කරන බවත් එහි දී පාසල් මට්ටමින් දරුවන්ටත් ගුරුවරුන්ටත් මාපියන්ටත් පුළුල් අවබෝධයක් ලබා දී පසුව සියලුම වැඩිහිටියන්ගේ ආකල්ප වර්ධනයට මේ වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදන බව ද දිසානායක මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා