රජයේ සාර්ථක කෘෂි සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙසින් බිඳ වැටුණු පොල් වගාව යළි ගොඩ ගැනීමට හැකි වුණා

රජයේ සාර්ථක කෘෂි සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙසින් බිඳ වැටුණු පොල් වගාව යළි ගොඩ ගැනීමට හැකි වුණා

- ජනාධිපති මහින්ද රාජපක්ෂ

එදා පැවැති ආණ්ඩුවල අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා බිඳ වැටුණු පොල් වගාව නැවත ගොඩනගන්නට වත්මන් රජය ක්‍රියාත්මක කළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම්වල ප්‍රතිඵල අද දක්නට ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් ජනාධිපති වරයා පාසල් සිසුවකුට පොල් පැළයක් පිරිනැමූ අයුරු. ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ද මෙහි සිටී. ඡායාරූපය - චන්දන පෙරේරා

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර පොල් වගා දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා (12) පැවැති උත්සවයකට එක් වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ලංකාවේ පොල් වලට දීර්ඝ ඉතිහාසයක් තියෙන බව අපි කවුරුත් දන්නවා. විජය කුමාරයා ලංකාවට ආව වෙලාවේ කුවේණිය කස පැන් ගෙඩියකින් සංග්‍රහ කළාය කියලයි මහා වංශයේ තියෙන්නේ.

පොල් වගාවෙන් එදා ඉඳන්ම විශාල වාසියක් අපේ රටට සිදු වෙලා තියෙනවා. අපේ පුංචි කාලේ පාසලේ ඉගැන්නුවේ මේ රටේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනෙන් එකක් පොල් කියලයි. අද ඒ තැන ටිකක් පහළට ගිහින් තියෙන බව ඇත්ත. නමුත් තාමත් අපේ ලාංකික අයට පොල් ගහ කියන්නේ කප් රුකක්.

පසුගිය කාල වකවානුවේ මේ රටේ දේශීය කර්මාන්තවල සිද්ධවුණු දැවැන්ත කඩා වැටීම පොල් කර්මාන්තයටත් බලපෑවා. එදා ක්‍රියාත්මක කළ රාජ්‍ය ප්‍රතිපත්තීන් නිසා පොල් වගාව විනාශ වෙලා ගියා. අනික් පැත්තෙන් පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ ක්‍රියා කලාපය නිසා පොල් වගාව විනාශ වුණා. ලාබ ලැබීමේ අරමුණින් පුද්ගලික ව්‍යාපාරිකයො විශාල පොල් ඉඩම් කට්ටි කරලා වෙන්දේසි කළ නිසා පොල් ගහ බොහොම අමාරු අඩියකට වැටුණා.

දීර්ඝ කාලීන සැලසුම්

මේ දැවැන්ත ඛේදවාචකයෙන් පොල් වගාව ගොඩ ගන්න ඉක්මන් තීන්දු වාගේම දීර්ඝ කාලීන සැලසුම් එදා ඉදන්ම අපි ක්‍රියාත්මක කළා. පොල් වගාව පිළිබඳව වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන්න මහින්ද චින්තනයෙන් යෝජනා කරලා මේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පිහිටෙව්වා. පෞද්ගලික සමාගම් වලට බදු දීපු පොල් ඉඩම් ආයෙත් රජයට පවරා ගත්තා. රජයට අපි මේ ඉඩම් පවරා ගත්තේ විශාල ණය තොගයකුත් එක්කයි. නමුත් අවුරුද්දක් දෙකක් යන කොට ඒ ණය ගෙවලා ශුද්ධ ලාබයක් ලබන්නත් අපිට පුළුවන් වුණා.

ඒ වාගේම අපි මහින්ද චින්තනයේ සඳහන් කළ ආකාරයට පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සංවර්ධනය කරන්න කටයුතු කළා. යුද්ධය නිසා උතුරු නැගෙනහිර පළාතේ පොල් වගාවට දැවැන්ත හානියක් සිදු වෙලා තිබුණා. සුනාමිය නිසා හානි වුණා. අද වෙනකොට අපි නැගෙනහිර පළාතේ වගේම වෙරළබඩ පොල් වගාව සංවර්ධනය කරන්න වැඩ කරගෙන යනවා.

‘කප්රුක නව උදාව‘ කියන නව පොල් සංවර්ධන සැලැස්ම යටතේ පොල් දශ ලක්ෂ තුන් දහස් හයසිය පනහක් මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනෑ. දැනටමත් ඒ ඉලක්කයට අපි වේගයෙන් යනවා. පසුගිය අවුරුද්දේ පොල් පැළ ලක්ෂ 40 ක් මේ වැඩසටහන යටතේ බෙදා දුන්නා. මේ අවුරුද්දේ ඒ ගණන ලක්ෂ 90 ක් දක්වා වැඩි කරන්න හැකි වීම විශාල ජයග්‍රහණයක්.

ඒ විතරක් නොවෙයි පොල් වගාකරුවන් දිරිමත් කරන්න පොහොර සහනාධාරය අපි ලබා දෙනවා. පොල් වගාව සඳහා ජනතාව වඩ වඩාත් උනන්දු කරවීමයි මෙයින් අපි බලාපොරොත්තු වුණේ. අනුන්ගේ දේට ආවඩනවා වෙනුවට අපේ දේ රැක ගෙන සංවර්ධනය කරා යන්නයි අපිට ඕනෑ.

දැන් ලෝක ජනගහනයෙන් පහෙන් එකක් පොල් ගහෙන් ප්‍රයෝජන ගන්නවා. අපි කප් රුක කියන කොට ඉංග්‍රීසි ජාතිකයො පොල් ගහට කියන්නේ සුපිරි වෙළඳ සල කියලා. පොල් ගහත් අපි සුපිරි වෙළඳසලක් බවට පත් කර ගන්න ඕනෑ. පොල් වගා කළාට විතරක් මදි. ලෝක වෙළඳපල ජය ගන්න පොල් ගහෙන් කරන නිෂ්පාදන විවිධ වෙන්න ඕනෑ. පොල් කර්මාන්ත අංශය නගා සිටුවන්න ඕනෑ. ඒ සඳහායි අපි පොල් ගහට වෙනම අමාත්‍යාංශයක් හැදුවේ.

මතක තියා ගන්න මේ හැම දෙයක්ම අපේ රටට ගැලපෙන හැටියට කරගෙන යන කොට ඕනෑම දෙයකට නොයෙක් බාධා ඇති කරනවා. පොල් වගාවටත් එහෙමයි. මේ රටට පොල් මයිටාවෙක් බෝ කරලා පොල් වගාව විනාශ කළා. ඊළඟට පසුගිය කාලෙ දකුණෙ අපේ පොල් ගස් ලක්ෂ ගාණක් කපා දාන්න සිද්ධ වුණා. මේවා ගැන අවදියෙන් ඉන්න ඕනෑ.

මයිටාවෝ පොල් වගාවට විතරක් නොවෙයි රටේ නොයෙක් දේවල් විනාශ කරන්න යොදා ගන්නවා. සමාජයටත් නොයෙක් මයිටාවෝ ඇතුළු වෙලා තිබෙනවා. සමාජයේ සිතුම් පැතුම් වෙනස් කරනවා. සදාචාරය නැති කරන්න, දෙමාපියන්ට ගරු කරන දරුවා කුªඩා කාලයේම විනාශ කරලා දානවා. කුඩු මැක්කන් එනවා. මේවා තමයි සමාජයට වින කරන මයිටාවෝ. මේ සමාජය අපේ දරුවන්ව අද නොයෙක් විදිහට විනාශ කරන්න නොයක් විදිහේ උපක්‍රම ඇති කරනවා. අපි ඒ නිසයි මේ මයිටාවෝ නැති කරන්න, පාලනය කරන්න, සමාජයේ සහයෝගයත් සමග කටයුතු කරන්නේ.

සමහරු මේ සමාජයේ දරුවන්ව අල්ලගෙන අනවශ්‍ය විදිහට මේ කරගෙන යන සංවර්ධනයට බාධා කරන්න, වසර තිහක් තිබුණු යුද්ධයෙන් සමාජය ගලවා ගත්තට පස්සේ සමාජය නැවත එතනට තල්ලු කරන්න, ජාත්‍යන්තරය ඉදිරියේ අපිව විනාශ කරන්න, අපේ රටට නැති චෝදනා ඉදිරිපත් කරන්න රට වනසන මයිටාවෝ කටයුතු කරනවා.

සමාජයේ වෘත්තිමය ගරුත්වය රැකගන්නා වූ ආයතන තිබෙනවා. ඒ ආයතන කෙරේ රටේ ජනතාවගේ මහා ගරුත්වයක් තිබෙනවා. ඒ ගරුත්වයත් නැති වෙන විදිහට සමහර මයිටාවෝ ක්‍රියාත්මක වෙනවා. සමාජයේ පිළිගත් ක්‍රමයක් තිබෙනවා. අපි ගුරුවරයාට වඳිනවා. හාමුදුරුවන්ට වඳිනවා. අපි නඩුකාර හාමුදුරුවෝ කියනවා. මෙහෙම කියන්නේ සාධාරණය, යුක්තිය එතනින් අපට ඉෂ්ඨ වෙයි කියලා අපි හිතන නිසා.

සිය වෘත්තිය ගරුත්වය රැක ගැනීමේ වගකීම තිබෙන්නේ ඔවුන්ට. දේශපාලනඥයගේ ගරුත්වය සමාජයේ රැක ගැනීමේ වගකීම තිබෙන්නේ ඒ දේශපාලනඥයාට. දේශපාලනඥයා තමන්ගේ වගකීම හරියට ඉටු නොකර ඒ තිබෙන ගරුත්වය විනාශ කර ගත්තොත්, වෘත්තිකයා තමන්ගේ ගරුත්වය විනාශ කරගත්තොත් ඒ සමාජය කඩා වැටෙනවා. තමන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන් හැසිරෙන ආකාරය පිළිබඳව සමාජය බලා සිටිනවා. ඒ නිසා අපි සමාජයේ ජීවත් වෙන කොට එකිනෙකාට ගරු කරමින් එකිනෙකාගේ ස්වාධීනත්වයට හා පෞද්ගලිකත්වයට ගරු කරමින් කටයුතු කරන්න ඕන යුගය ඇවිත් තිබෙනවා. අපේ සමාජය නැත්නම් කඩා ගෙන වැටේවි. අපිට ඒකට ඉඩ දෙන්න බැහැ.

ඒ නිසා මේ රට සමාජය දරු පරපුර ආරක්ෂා කර ගනිමින් අපි ගොඩ නගනවා. පොල් කර්මාන්තය ආරක්ෂා කරමින් ගොඩ නගනවා. තේ කර්මාන්තය ගොඩ නගන්න ඕනා. මේ සියල්ල ගොඩනගලා රට සංවර්ධනය කරන්න අපි කටයුතු කරනවා. පාරවල් කාපට් කරමින්, අධිවේගී මාර්ග හදමින්, අලුතින් වරායවල් හදමින්, අලුත් ගුවන්තොටුපලවල් හදමින්, විදුලිබලය රට පුරා ජනතාවට ලබාදීමට පියවර ගනිමින්, විශේෂයෙන්ම අවුරුදු තිහක් තිස්සේ සංවර්ධනය කිරීමට නොහැකිව තිබුණු උතුරු නැගෙනහිර නැවත සංවර්ධනය කරමින් අපි මේ සමාජයේ සියලු ජාතීන්ට සියලු ආගමිකයින්ට සමානව එකට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න අපි කටයුතු කරන්න ඕනෑ.

අපි මොනතරම් රට සංවර්ධනය කළත් පොල් වගා කරලා අස්වැන්න මොනතරම් ගොඩනගලා රට ගොඩනංවන්න හැදුවත් අපේ සමාජය කඩා වැටෙනවා නම් සදාචාරාත්මකව ඒ කඩා වැටෙන සමාජයකින් අපට වැඩක් නැහැ. ඒ නිසා අපි මේ සමාජය ගොඩනගන්න පියවර ගන්න ඕනෑ.

මම සන්තෝෂ වෙනවා අද මේ අමාත්‍යාංශය පිහිටුවලා කෙටි කාලයක් තුල ලබාගත් ජයග්‍රහණයන් සමරන අවස්ථාවේ දී නිලධාරීන් පොල් කර්මාන්තකරුවන් පොල් වගාකරුවන් ඇතුළු එයට අත දුන් මේ සියලු දෙනාම එකතු කරගෙන අද ජාත්‍යන්තර පොල් දිනය සමරන්න එක්වීමට ලැබීම සම්බන්ධයෙන්.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා

මේ රටේ පොල් කර්මාන්තය මොන තරම් ජනතාවට සමීපද කියා අපි දන්නවා. සහල්වලට පස්සේ ජනතාවගේ ප්‍රධාන ආහාරය ලෙස වැදගත් වන්නේ පොල්. අපි දන්නවා එයින් ජනතාවගේ ආහාර අවශ්‍යතා සඳහා පෝෂණයට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වගේම ආහාර රසවත් කරන්න සම්පූර්ණ කරන්න වැදගත් වී තිබෙනවා.

පොල්වගාව සුරැකීම

වේදිකාවල පොල් ගෙඩිය නොව පොල් බෑය ප්‍රදර්ශනය කළ අවස්ථා තිබුණා. පොල් ගැන මම අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ සංස්කෘතියට පොල් සම්බන්ධයි. ඕනෑම ජාතියකට එය පොදුයි. පොල් තෙල් ටිකත් අපට ඉතා සම්බන්ධයි. ලංකාවේ ගෘහ කර්මාන්තයට වැඩියෙන්ම දායක වන්නේ පොල් ගසයි.

විවිධ කර්මාන්තවලට පොල් ගස දායක වුණා. මෑතක් වන තුරුම විදේශ විනිමය උපයන භෝග අතරින් පොල් එකක් බවට පත් වුණා.විවිධ හේතු නිසා පොල් කර්මාන්තයට සෙනසුරු දශාව ලැබුවා. සුනාමිය, සුළි සුළං නිසා පොල් කර්මාන්තය කඩා වැටුණා. උතුරු නැෙඟනහිර යුද්ධය නිසා පොල් ගස් අහිමි වුණා. විවිධ රෝග නිසා පොල් ගස් නැති වුණා. වැලිගම ප්‍රදේශයේ මේ උවදුර තවම තිබෙනවා. කෘමි උවදුරු නිසා පොල් වගාවට පහර වැදුණා.

කුරුණෑගල දැඩි නියඟය නිසා පොල් ගස් හානි වී ගෙන යනවා. මෙවන් අවස්ථාවක තමයි ජනාධිපතිතුමා පොල් කර්මාන්තයට වෙනම අමාත්‍යාංශයක් හදලා වැඩපිළිවෙළ ආරම්භ කළේ. ඇමැතිතුමා පත්ව ටික කලකින් පොල් පිටරටින් ගේන්න සිදුවුණා.

විවිධ අංශවලින් මේ ප්‍රශ්නයට උත්තර සොයන්න ඇමැතිතුමා හා නිලධාරීන් වගාකරුවන්, ජනතාව විශාල වෙහෙසක් දරනවා. එහි වැදගත් පියවරක් තමයි ජනාධිපතිතුමා පොල් කර්මාන්තයටත් පොහොර සහනාධාරය ලබා දීම. අද වෙළෙඳ පොළේ කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 4200ක් වෙනවා. ජනාධිපතිතුමා ජනතාවට එය ලබා දෙන්නේ රුපියල් 1200කට. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා.

පොල් වගාවෙන් අපිට ඉතා ඉහළ විදේශ විනිමයක් ලබන්නට පුළුවන්. මෙතැන ඉන්නවා එවන් නිෂ්පාදන විදේශ වෙළෙඳ පොළට යවන අය. එය අපට ආඩම්බරයක්. අපේ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට යොදා ගන්නවා. පොල් කනවා වගේම පොල් ගහන්නත් භාවිතා කරනවා. ඒ නිසා අද පොල් අපනයනය පහසුයි. කර්මාන්තකරුවන්ට වගේම සාමාන්‍ය ජනතාවට මෙයින් අපහසුතා වෙනවා.

විශාල විනිමය ප්‍රමාණයක්

සාමාජිකයන් තුන් දෙනකුගෙන් සමන්විත පවුලකට වසරක පොල් ගෙඩි 260ක් අවශ්‍යයි. තමන්ගේ ගෙවන්නේ පොල් ගස් තුනක් හතරක් තියෙනවා නම් වාර්ෂිකව පොල් අවශ්‍යතාව සපුරා ගත හැකියි. එසේ කළහොත් පොල් විදේශ වෙළෙඳ පොළට යවා විශාල විනිමය ප්‍රමාණයක් ගත හැකිය. මේ මහ කන්නය වන විට රටට අවශ්‍ය සියලු පොල් පැළ බෙදාහරින්න කටයුතු කරනවා. ඕනෑම කෙනකුට මේ පැළ නොමිලේ ලබා ගත හැකියි.

මේ රටේ තිබෙන්නේ වැඩිපුරම කුඩා ප්‍රමාණයේ පොල් වතු. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ ගෙවත්තේ ඇති ගස් ආරක්ෂා හා නඩත්තු කිරීම මේ රටේ පොල් කර්මාන්තයට ඉතා වැදගත්. අපි ඒ ගස් ආරක්ෂා නොකර විවිධ රෝග ඇතිවෙන්න ඉඩ ඇරියොත් සමස්ත කර්මාන්තයට පහරක් වදිනවා.

ඒ එක ගස හෝ ආරක්ෂා කරගෙන නිෂ්පාදනය වැඩිකර ගතහොත් එය රටේම නිෂ්පාදනයට බලපානවා. ඒ නිසා මේ අය එකතු කරලා කප්රුක සංවිධාන හදලා මේ කටයුතු මෙහෙයවන එක ගැන අපි ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පොල් ගෙඩියෙන් පමණක් ආදායම් උපයන යුගය වෙනස්ව සෑම කොටසකින්ම ප්‍රයෝජන ගන්නා කාලය එළඹ තිබෙනවා.

එදා ඔබට මතක ඇති පොල් කර්මාන්ත ශාලා අවට කොපමණ කොහුබත් තිබුණද කියලා. එය පරිසර හානියක් වන තරමට ඉහළ ගොස් තිබුණා. නමුත් අද මේ නිෂ්පාදකයන්ට ස්තුතිවන්ත වෙන්න එම තත්ත්වය නැතිව ගොස් තිබෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට රටේ ආර්ථිකයට දරන දායකත්වය වෙනුවෙන් ස්තුතිය පළකරනවා.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා

ජනාධිපතිතුමා මහින්ද චින්තනය යතාර්ථයක් කරමින් මේ රටේ වැවිලි භෝගවලට ප්‍රමුඛස්ථානය දෙනවා. එහිදී පොල් සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවා අපට දුන් අභියෝගය අප ජය ගෙන තිබෙනවා. මේ අමාත්‍යාංශය භාර දෙන විට පොල් ගෙඩිය රුපියල් 60ට ඉහළ ගොස් තිබුණා. විපක්ෂ දේශපාලනඥයන් පොල් බෑය පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් අපි ජනාධිපතිතුමාගේ උපදෙස් මත අවශ්‍ය කටයුතු කළා.

1950 වන විට මිලියන 7ක් වූ මෙරට ජනතාවට පොල් වගාව හෙක්ටයාර් ලක්ෂ 10ක පමණ තිබුණා. අද ජනගහනය මිලියන 20 දක්වා ඉහළ ගියත් වගා බිම් ප්‍රමාණය ඉහළ ගොස් නැහැ. ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත මේ පොල් වගාකරුවන්ට සහනාධාරය දෙනවා.

පාසල් දැනුවත්කිරීම

ඒ සඳහා කිලෝ ග්‍රෑම් 50 කට රුපියල් 3000ක සහනයක් ලැබෙනවා. ගාල්ල, හම්බන්තොට, මාතර දිස්ත්‍රිත්කවල කොළ ආශ්‍රිත රෝගයක් නිසා පොල් ගස් ලක්ෂ 3ක් ඉවත් කරන්න තීන්දු කළා. අද හම්බන්තොට රෝග මුත්ත දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා. ඉදිරියේදී අනෙක් දිස්ත්‍රික්කත් මේ තත්ත්වයට ගෙන එනවා. පොල් වගාකරුවන්ගේ ආර්ථිකය නඟා සිදුවීමට අවශ්‍ය කටයුතු කරනවා.

මයිටා උවදුර නිසා පොල් අස්වැන්නෙත් සියයට 17කට බලපානවා. ඒ සඳහා විලෝපීය මයිටාවෙක් හඳුනාගෙන අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. රතු කුරුමිණියන් විනාශ කිරීමට අප කටයුතු කළා. 2011 - 2016 ක්‍රමෝපාය සැලස්මක් හැදුවා. ඒ අනුව දැන් කටයුතු කරගෙන යනවා. 2016 වන විට දශලක්ෂ 3650 දක්වා ගෙනයාමේ අභියෝගය අප භාර ගෙන තිබෙනවා.

පාසල්වල දරුවන් වෙනුවෙන් කප්රුකයි සිප් නැණයි වැඩපිළිවෙළ හඳුන්වා දුන්නා.ඒ යටතේ මේ වසරේ පැළ ලක්ෂ 6ක් වගා කරන්න සූදානම් කර තිබෙනවා. මේ වසර තුළ පමණක් පැළ ලක්ෂ 40ක් වගාකරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ අක්කර 93000ක් ආවරණය කරනවා. කප්රුක සමිති 7100ක් ආරම්භ කර ඒ අයට අවශ්‍ය දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

පොල් වගාව නැංවීම

ඉදිරි වසර 5 තුළ අක්කර ලක්ෂ 5ක වැඩිපුර පොල් වගා කිරීමේ ඉලක්කයක් අපට තිබෙනවා. කිලිනොච්චි, මඩකලපුව, ත්‍රිකුණාමලයේ පොල් වගාකරන්නට කටයුතු කර තිබෙනවා. දිළිඳු ජනයාගේ මාසික ආදායම ඉහළ නංවන්න අප අමාත්‍යාංශය දැවන්ත මෙහෙවරක නියැළෙනවා.

2010 වසරේ අපනයන වටිනාකම වූ බිලියන 32යි. 2011 වන විට බිලියන 47 දක්වා සියයට 46කින් ඉහළ දමා තිබෙනවා. රට පුරා සේවය කරන සියලු දෙනා ඇතුළත් කර තොරතුරු ලබාගත හැකි අන්තර් ජාල ප්‍රගති මෙහෙයුම් පද්ධතිය ජනාධිපතිතුමාගේ අතින් අද ආරම්භ කෙරෙනවා. මෙමඟින් රට පුරා සියලු වතුවල නිෂ්පාදනය කෙතරම්ද කියා ක්ෂණිකව දැන ගත හැකියි.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා

ශ්‍රී ලංකාව පොල් වගා කරන රටවල් අතර පස් වන ස්ථානයට පැමිණ තිබෙනවා. ලෝක පොල්වගාවේ සියයට 90 ක දායකත්වයක් දරන ආසියා පැසිෆික් පොල් ප්‍රජාවේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එම සංගමය සැප්තැම්බර් 02 වැනිදා පොල් දිනය ලෙස නම් කළා. එම කාලයේ අපේ රටේ පැවැති මැතිවරණ කටයුතු නිසා පොල් දිනය අපි අද සමරනවා.

ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් සෙනෙවිරත්න, එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා