එන්නත දීමෙන් පසු මගේ අත දිගේ කරන්ට් එක යනව වගේ කිය‍ා කෑ ගැසුවා

කරාපිටිය මහරෝහලේදී ප්‍රතිජීවක එන්නතින් පසු නව හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධිය

එන්නත දීමෙන් පසු මගේ අත දිගේ කරන්ට් එක යනව වගේ කිය‍ා කෑ ගැසුවා

ගාල්ල කරාපිටිය මහරෝහලේදී ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසුව නව හැවිරිදි පාසල් සිසුවියක මියයාම නිසා ගාල්ල හීන්පැන්දල ප්‍රදේශයම දැඩි කම්පාවට පත්ව ඇති අයුරු පෙරේදා එම සිසුවියගේ නිවසට යනවිට අපට දැකගත හැකි විය.

උණ සහ වමනය හට ගත් පසු දැරියගේ දෙමාපියන් විසින් ඇය ප්‍රථමයෙන් මහමෝදර මහරෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍ය උපදෙස් මත ඇය කරාපිටිය මහ රෝහලට ඇතුළු කොට එහිදී ප්‍රතිජීවක ඖෂධයක් ශරීරයට එන්නත් කළ පසු ඇය මිය ගිය බව වාර්තා වේ.

ගාල්ල හීන්පැන්දල පදිංචිව සිටි මුරමුදලිගේ කවීෂා හංසනී අබේසිරි ජයවර්ධන (9) සිසුවිය මිය යනවිට ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ හතර වසර ඉගෙනුම ලබමින් සිටියාය. දුමින්ද අබේසිරි ජයවර්ධන කවීෂාගේ පියාය. ඔහු ව්‍යාපාරිකයෙකි. ගෘහනියක වන ඇගේ මව ලසන්ති කුමාගොඩය. මියගිය කවීෂාට වැඩිමල් සහෝදරියන් සහ කුඩා නැගණියක්ද සිටිති.

කවීෂා දුවගේ අකල් වියෝව නිසා ඇගේ දෙමාපියන් ඥාතීන් ඇතුළු සියලුදෙනා දැඩි ශෝකයට පත්ව සිටින අයුරු අපි එහිදී දුටුවෙමු. දැඩි ලෙස ශෝකයට පත්ව සිටින කවීෂාගේ මව ලසන්ති කුඩාගොඩ මහත්මිය මොහොතකට අපි හමු වුනෙමු.

10 වැනිදා උදේ දුව නැගිට්ටේ වමනය කරගෙන. පසුව තවත් කීපවතාවක්ම වමනය කළා. ඒ නිසා අපි වහාම දරුවා මහමෝදර මහ රෝහලට ගෙන ගියා. එහිදී වෛද්‍යවරුන් කීවා දරුවා කරාපිටිය රෝහලට ඇතුළු කරන්න කියා. අපි දරුවා කරාපිටිය රෝහලට ගෙන ගියා. වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කර ප්‍රතිකාර කළා.

පසුව එකේ වාට්ටුවට මාරු කළා. වාට්ටුවේදී ලේ සාම්පල් බැලුවා. ඒවා පරීක්ෂා කර බලා ලේවල බැක්ටීරියාවක් ආසාදනය වෙලා කියා කීවා. ඊට පස්සේ එකොළොස් වැනි දින උදේ ප්‍රථම එන්නත දුන්නා. දරුවා නිදාගෙන සිටින විට තමයි ඒක එන්නත් කළේ නමුත් රිදෙනවා කියා කීවා.

පසු දින උදේ නැගිට ඉඳිආප්පත් කෑවා. උදේ නවයට විතර තුන්වැනි එන්නතත් දුන්නා. එය එන්නත් කරන කොට දුව කීවා මගේ අත දිගේ කරන්ට් එක යනවා වගෙයි, මුලු ඇඟ පුරාම කරන්ට් එක යනවා වගේ අනේ විදින්න එපා කියා කෑගැසුවා. නමුත් එන්නත ලබා දුන්නා. ඒ සමඟම දුවට කැස්සක් ආවා. පපුව හිරවී හුස්ම ගැනීමට අපහසු වගේ වුණා. ඇස් දෙක උඩ ගියා. කතා කරගන්න බැරිව ගියා. ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයකුත් ඒ වෙලාවේ වාට්ටුවේ හිටියා. ඔවුන් සියලුදෙනාම එකතු වී දරුවාට සිහිය ගත්තා.

පසුව ට්‍රොලියක තබාගෙන දරුවා දැඩිසත්කාර ඒකකයට ගෙන ගියා. ට්‍රොලිය තල්ලු කරගෙන ගියේ දොස්තර මහත්තුරු. නමුත් දැඩිසත්කාර ඒකකයේදී දවල් දොළහයි හතලිස් පහට විතර දුව මිය ගියා. දොස්තර මහත්වරු විශාල උත්සාහයක් ගත්තා දරුවා බේර ගන්න. ඒත් බැරිවෙලා. අපට දරුවා නැති වුණා යැයි කීවාය.

මේ අතර කුඩා කවීෂාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය නිමල් කරුණාතිලක මහතා විසින් කරාපිටිය මහ රෝහලේදී පැවැත්විණි. එහිදී මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂ හැන්නදි මහත්මිය කවීෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය. මූලික පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව අනාවරණය නොවූ නිසා සිරුරෙන් ලබාගත් කොටස්වලින් වැඩිදුර පරීක්ෂණ පවත්වා මරණයට හේතුව දන්වන බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මරණ පරීක්ෂකවරයාට වාර්තා කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා