කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට දේශපාලන බලපෑම් නෑ

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට දේශපාලන බලපෑම් නෑ

රජය අවධාරණය කරයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය වෙනුවෙන් කිසිඳු දේශපාලන මැදිහත්වීමක් නැතැයි ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ විභාගය විනිවිදභාවයෙන් සහ ඉතා සාධාරණ ලෙස පැවැති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

දසවැනි වරට ශ්‍රී ලංකාවේදී පවත්වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සෙසු රටවල පවත්වන විභාග අතරේ ගත්කළ මනා සංවිධානය හා විනිවිදභාවය අතින් ශ්‍රී ලංකාව පෙරමුණේ සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

දසවැනි කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය පෙරේදා (13) පෙරවරුවේ කොළඹ පිහිටි මධ්‍යස්ථාන 09 කදී ආරම්භ වු අතර විභාග මධ්‍යස්ථාන වල කටයුතු සොයා බැලිම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන ඇමැති ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, කොරියානු මානව සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ කිම් සී ටේ මහත්වරු එක්වූහ. එහිදි මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ මේ භාෂා ප්‍රවිණතා විභාගයට කිසිදු අකාරයක දේශපාලන බලපැමක් සිදු නොවන බවත් කොරියානු මානව සම්පත් දෙපාර්තුමේන්තුව හා ශ්‍රි ලංකා විභාග දෙපාර්තුමේන්තුවේ පුර්ණ අධික්ෂණය යටතේ විභාගය පැවැත්විම නිසා විනිවිදභාවයෙන් හා ඉතා සාධාරණ ලෙස පැවැත්විමට හැකිවු බවත්ය.

මේ විභාගය සමත් කිරිම සඳහා කිසිදු බලපෑමක් සිදු කිරීමට නොහැකි අතර සම්පුර්ණයෙන් ලකුණූ මත පමණක් පදනම් කරගෙන ප්‍රතිඵල නිකුත් කෙරේ. ඒ අනුව මෙවර විභාගයෙන් 5000 තෝරා ගැනිමට නියමිත අතර ඉන් 3500 ක් කර්මාන්ත අංශයේ රැකියා සඳහාද අනෙකු 1500 ධිවර අංශයේ රැකියා සඳහාද යොමු කෙරේ. කොරියානු රැකියා ලාභියකුගේ වැටුප මෙවන විට රුපියල් 140,000 පමණ වන බව පෙන්වාදුන් ඩිලාන් පෙරේරා මහතා එසේම රැකියා සම්බන්ධව මෙරටට ලැබෙන කෝටා ප්‍රමාණය සියයට 6 කින් වර්ධනය වී තිබෙන බවද සඳහන් කළේය. රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ EPS රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ වෙබ් අඩවිය හරහා පමණක් වන අතර ඒ අනුව වෙබ් අඩවියට ඇතුළත් වි සිටින අයදුම්කරුවනගේ දත්ත නිරීක්ෂණය කර එරට ව්‍යවසායකයින් විසින් තෝරාගත් රැකියාලාභීන්ගේ වීසා හා රැකියා ගිවිසුම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

2010 වර්ෂයේ විභාගය සමත්වුවන්ගෙන් සියයට 99 කට වැඩි පිරිසක් හා 2011 වර්ෂයේ විභාගය සමත් වුවන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසක් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව සිහිපත් කළ ඇමැතිවරයා ඒ අනුව කිසිදු රැකියා ලාභියෙකුට වසර 04 කට රැකියා නොලැබෙනු ඇතැයි යන බියක් ඇතිකර නොගන්නා ලෙසද සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා 34261 දෙනෙකු පෙනී සිටි අතර විභාගය කොළඹ පිහිටි මධ්‍යස්ථාන 09 කදී කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා