මිහින්තලේ පූජා භූමිය කසළ උල්පතක්

මිහින්තලේ පූජා භූමිය කසළ උල්පතක්

මිහින්තලේ පූජා භූමිය පුරා ඇති කැළි කසළ හේතුවෙන් පැන නැඟී ඇති සෞඛ්‍ය හා පාරිසරික ගැටලු පිළිබඳ ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.

ඓතිහාසික පූජා නගරයක් වූ හෙළ ශිෂ්ටාචාරයේ උල්පත වූ මිහින්තලාව වර්තමානයේ දී කැළි කසළ උල්පතක් ලෙසට හඳුන්වාදීමට හැක.

පාරිසරික ගැටලු මෙන්ම සනීපාරක්ෂක කටයුතුවල නිසි පැවැත්මක් නොමැතිකමින් දේශීය විදේශීය බැතිමතුන් ගැටලු රාශියකට මුහුණ දී තිබේ. මේ ගැටලුව පිළිබඳ අදහස් දැක්වූ ප්‍රදේශවාසී අශෝක වඩුගේ (53) මහතා

මම වසර 35කට වැඩි කාලයක් පූජා භූමියට පැමිණෙන විදේශිකයන්ට මාර්ගෝපදේශකයකු ලෙස වැඩ කරනවා. ලංකාවේ මුදුන් මල්කඩ වගේ සැලකෙන ප්‍රමුඛස්ථානයක් ලැබෙන ගෞරවාන්විත ස්ථානයක් තමයි මෙය. පූජා භූමියට ඇතුළු වන විටම දකින්නට ලැබෙන දර්ශනවලින් අපේ හිත් බිඳිලා යනවා. වැසිකිළි වළවල් පිරිලා උතුරලා.

දුර්ගන්ධය ඉවසන්න බෑ. කානුවල අපද්‍රව්‍ය පිරිලා. හරිම අපුලක් දැනෙනවා. අවට පරිසරය බැලූ බැල්මට දිස්වෙන්නේ ඉවත ලන අපද්‍රව්‍යයි. පූජා නගරය පුරා හිස් ටිං, බෝතල්, සොපිං උර, කොළ කෑලි පිරිලා. පූජා නගරය අපද්‍රව්‍යවලින් පිරිලා තියෙනවා.

මම නම් කියන්නේ ප්‍රාදේශීය සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහෙමත් නැතිනම් පූජා නගරයේ සිටින වෙළෙඳ සල් හිමියන් හරි මේ දේවල් කිරීමට භාරගත යුතුයි. වෙළෙඳසල් හිමියන් ප්‍රාදේශීය සභාවට මාසිකව මුදලක් ගෙවනවා. කැළි කසළ ඉවත් කිරීම සඳහා මුදලක් ගෙවනවා. කැළි කසළ ඉවත් කිරීම සඳහා වෙළෙඳුන් විසින් මේ මුදල ගෙවන්නේ. අපට බොරු කියන්න බෑ

විදේශිකයන් ඇවිත් අහනවා මේ අපද්‍රව්‍ය දැකලා ඇයි මේ තරම් වටිනා පූජා භූමියක් හරියට නඩත්තු කරන්නේ නැත්තේ කියලා. විදේශිකයන් ෆොටෝ ගහලා වීඩියෝ කරලා ගිහිං එයාලගේ රටට පෙන්වනවා. අපිට දුකයි අපේ රට ගැන මේ විදිහට විදේශිකයන් හිතන විදිහ ගැන.

අවශ්‍ය අයට දැන්වුවත් වැඩක් වුණේ නැහැ. පොසොන් එකට ඇවිත් අවශ්‍ය දේවල් කරලා යනවා. වැසි සමය ආරම්භ වීමට ඇත්තේ තව ටික දිනයි. කාටවත් නවත්ත ගන්න බැරි තරම් සෞඛ්‍ය ගැටලු පැන නගීවි. එහෙම දෙයක් වෙන්නට කලින් මේවා ගැන පියවරක් ගන්න කියලා ඉල්ලනවා.

මේ අර්බුදය පිළිබඳ මිහින්තලේ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා දිනමිණට අදහස් දැක්වූයේ මේ අයුරිනි.

ඇත්තටම කියනවා නම් පූජා භූමිය තුළ විසඳාගත නොහැකි තරමේ සෞඛ්‍ය හා පාරිසරික ගැටලු මතු වී තිබෙනවා.

පුරාවිද්‍යාවටත්, ප්‍රාදේශීය සභාවටත් මේක තනියම කරන්න බැහැ. මොකද මිහින්තලේ පූජා නගරයට නිතිපතා ඇදී එන දහස් ගණනක බැතිමතුන් ඉවතලන අපද්‍රව්‍ය සේවකයින් කිහිප දෙනකුට ඉවත් කරන්න බෑ.

පූජා භූමිය පුරාම තියෙන්නේ පුරාවස්තූන්. කැළි කසළ නිසා පුරා වස්තූන් විනාශවීම ද වළක්වන්න බැරි තත්ත්වයක් වෙලා තිබෙනවා. හොඳම විසඳුම තමයි වන්දනාකරුවන් ඉවතලන අපද්‍රව්‍යය හැම තැනම නොදා ඒවා සුරක්ෂිත ලෙස ඉවත් කිරීමට කටයුතු යෙදීමයි.

හැමෝම මේ විදිහට වැඩ කළොත් පූජා භූමියේ පරිසරය විනාශ වෙන්න නොදී සෞඛ්‍ය ගැටලු ඇති නොවන ලෙසට වැඩ කටයුතු කරගන්න පුළුවන්.

ගාල්ලේ සිට මිහින්තලේ පූජා භූමිය වැඳ පුදා ගැනීමට පැමිණි අජිත් ලොකුගමගේ මහතා අදහස් දක්වමින්. මුලින්ම කියන්න ඕනෑ පූජා භූමියේ පරිසරය විනාශ වෙලා තියෙනවා දකින විට හරිම දුකක් දැනෙනවා.

මේ ප්‍රශ්නය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටවත් පරිසර සංරක්ෂණ අධිකාරියටවත් ප්‍රාදේශීය සභාවටත් වළක්වන්න බැහැ. මුලින්ම කළ යුත්තේ මහජනතාව දැනුවත් කරන එකයි. පොලිතින් කෑල්ලක් දානව දැකලා අත්අඩංගුවට අරගෙන උසාවි ගෙනිහින් දඩ ගහලා මේ උග්‍ර පාරිසරික විනාශය වළක්වන්න බැහැ. ප්‍රාදේශීය සභාවට පොලිතින් ඇහිදින්න බෑ.

එහෙම නම් කළ යුත්තේ මේවා පරිසරයට මුදා හරින වන්දනාකරුවන් දැනුවත් කිරීමයි. කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය උපකරණ කීපයක් තියෙනවා නම් නිතිපතා ඉවත්කරන්න සැලසුම් යොදනවා නම් පරිසරය හොඳ මට්ටමක තියාගන්න පුළුවන් වේවි.

පූජා නගරයට ඇතුළු වෙද්දීම දැනෙන දුර්ගන්ධය බැතිමතුන් අපහසුවට ලක් වෙනවා. වැසිකිළි වළවල් උතුරලා. කානු පද්ධති පිරිලා. අවශ්‍ය අයට දැනුම්දීලා කඩිනම් විසඳුම් යොදන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ සියලු ප්‍රශ්න හමුවේ හැමෝම චෝදනා කරන්නේ ප්‍රාදේශීය සභාවට. ඒ අනුව මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති යු. බී. සිරිසේන මහතාට කතා කළ විට ඒ මහතා මෙසේ සිය අදහස් දිනමිණට පළ කළේ මෙසේය.

පූජා භූමිය පුරා උග්‍ර පාරිසරික ගැටලු තියෙනවා. අපි දන්නවා. නොදන්නවා නොවේ. දහස් ගණනින් එන බැතිමතුන් ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කරන්න ඒ තරමට ම සේවකයන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මහජනතාව දැනුවත් වෙලා මේ අපද්‍රව්‍ය ඉවතලෑම පිළිබඳව සැලකිල්ලක් දක්වනවා නම් අපට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ පාරිසරික ගැටලුව අද ඊයේ තිබෙන ප්‍රශ්නයක් නොවේ.

වසර දහයක් පහළොවක් පමණ කලක සිට පැවතෙනවා. මේවාට ස්ථිර විසඳුම් දෙන්න අපහසුයි. පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන් පූජා භූමියට ගෞරව නොකිරීම තමයි ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ලබන වසරේ පොසොන් පෝය 2320 වැනි පොසොන් පෝය. මේ සඳහා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් යොදමින් පවතිනවා. මේ පාරිසරික විනාශයට ඉතා ඉක්මනින් පියවරක් ගැනීමට සූදානම් වී සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා