ක්‍රිකට් තරග සැලසුම් වෙනස් කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජ එකමුතුවෙන් විරෝධතාවක්

ක්‍රිකට් තරග සැලසුම් වෙනස් කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජ එකමුතුවෙන් විරෝධතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලි සැලැස්ම වෙනස් කිරීමට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩා සමාජ එකමුතුව විරෝධතාව දක්වයි.

ක්‍රිකට් ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් නිලතලවලට පත්වූ ක්‍රිකට් විධායක කමිටුව ක්‍රීඩා සමාජවල අදහස් නොවිමසා අත්තනෝමතිකව ක්‍රීඩා තරග රටාව වෙනස් කිරීමේ සංශෝධන ගෙන ඒම ක්‍රීඩාවට අහිතකර බව ක්‍රීඩා සමාජ එකමුතුව පෙන්වා දෙයි.

යම් ආකාරයකින් තරගරටාව වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩා සමාජ නිලධාරීන්ගේ අදහස් ලබාගත යුතු බව ඔවුහු අවධාරණය කරති.

වසර 1982 දී ටෙස්ට් වරම් දිනා 1996 දී ලෝක කුසලානය හිමිකර ගැනීමත් අවස්ථා හතරකදීම ලෝක ක්‍රිකට් තරගාවලි අවසන් මහා තරග දක්වා පැමිණීමත් සිදුවූයේ වත්මන් ක්‍රීඩා සමාජ තරඟ රටාව හරහා බව ක්‍රීඩා සමාජ එකමුතුව සිහිපත් කරයි.

යෝජිත නව ක්‍රමය අනුව දැනට ඇති කණ්ඩායම් ගණන දහයේ සිට දාහතර දක්වා වැඩිකිරීමක්වී තිබේ. කණ්ඩායම් ප්‍රමණය අඩු කරන බව පවසා නව ක්‍රමය තුළින් කණ්ඩායම් වැඩි කිරීම අසාධාරණ බව පෙන්වා දී ඇත.

පසුගිය වසරේ ‘ඒ’ කොටසේ අවසන් ස්ථානයට පත්වූ එන්.සී.සී.පිල තරඟාවලි නීති රීති අනුව ‘බී’ කොටසට වැටිය යුතු වුවද එම කණ්ඩායම ‘ඒ’ කොටසේම තබා ගැනීම සිදු නොවිය යුත්තකි. ක්‍රිකට් ආයතනයේ තර්කය වී ඇත්තේ එන්.සී.සී. පිල සතු ප්‍රබල ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරගාවලිවලට එක්වීමෙන් අවසන් ස්ථානයට පත්වූ බවය. එන්.සී.සී. ප්‍රබල ක්‍රීඩකයන් හතරදෙනෙකු පමණක් තරඟාවලියට එක් නොවෙද්දී ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයන් 9ක් හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම අන්තර් සමාජ තරගාවලියට එක්වූ බවද පෙන්වා දේ. මෙයට අමතරව එන්.සී.සී. පිලට සියලු පහසුකම් හා ශ්‍රී ලංකා ‘ඒ’ පුහුණුකරුවෙකුද එක්ව සිටියේය. කිසිදු පහසුකමක් නැති බදුරලිය ක්‍රීඩා සමාජයට එන්සී.සී. පිටියේදීම ඔවුන් පරාජය වූයේ කාගේ වරදකින්දැයි ප්‍රශ්න කර සිටියි.

ජාතික පිළ නියෝජනය කළ ක්‍රීඩකයන් සිටි ක්‍රීඩා සමාජ ගණනාවක් මෙයට පෙර අවසන් ස්ථානයට පත්වීමේදී ‘බී’ කොටසට ඇද දැමීම සිදු වුවත් එන්.සී. සියට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්වීම වරදක් බව ක්‍රීඩා සමාජ එකමුතුව දන්වා සිටී.

එමෙන්ම ‘බී’ කොටසේ ඉතිරිවන සී.සී.සී, බී.ආර්.සී., නාවික, ගුවන්, වරාය අධිකාරිය, සැරසන්ස්, පානදුර යන කණ්ඩායම් හතේ පළමු තත්ත්වය අහෝසිකර එම තරඟාවලි දෙදින තරඟාවලියක් කිරීමද ක්‍රීඩා සමාජ එකමුතුව හෙළා දකියි.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා ක්‍රීඩා සමාජ වෙත පවසා ඇත්තේ නව තරග ක්‍රමයට තමාගේ කැමැත්තක් නොමැති බවයි. මේ පිළිබඳ ක්‍රීඩා සමාජ නියෝජිතයන් සමග ඉදිරි කාලයේදී සාකච්ඡාවක් පවත්වා එය ක්‍රිකට් විධායක කමිටුවට දැනුම්දෙන බව ධර්මදාස මහතා පැවැසුබව ක්‍රිකට් සමාජ එකමුතුවේ නිලධාරීහු පිරිසක් 'දිනමිණ'ට පැවැසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා