මැලේසියාව පැරදවූ ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

මැලේසියාව පැරදවූ ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

ශ්‍රී ලංකා පිලේ නායක ෆසීල් මරිජා මලයාසියාව සමග පැවැති තරගයේදී

මැලේසියාවට එරෙහිව ලකුණු 24-17ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ (14) ඉන්දියාවේ මුම්බායි නුවර ජිම්කානා ක්‍රීඩාංගණයේ පැවැති මුම්බායි සත් සාමාජික රගර් තරගාවලියේ පළඟ ශූරතාව අත්කර ගත්තේය.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලා ත්‍රිත්වයේ අවසන් අදියර වු මුම්බායි තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයත් සමග මේ වසරේ ආසියානු සත් සමාජික රගර් තරගමාලා ත්‍රිත්වයේ ලැබූ ශූරතා ප්‍රමාණය 3දක්වා වැඩිවිය.

බෝර්නියෝ තරගාවලියේදී බඳුන ශූරතාවත්, ෂැංහයි තරගාවලියේදී පළඟ ශුරතාවත් දිනා ගැනීමටද ශ්‍රී ලංකාව සමත්විය. මැලේසියාව සමග පැවැති පළඟ ශූරතා අවසන් මහා තරගය අතිශය උණුසුම්කාරී මුහුණුවරක් ගත් අතර නියමිත කාලය අවසානයේදී දෙපිලම ලකුණු 17-17ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. එහෙත් ලබාදුන් අතිරේක මිනිත්තු පහක කාල සීමාවේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර රුස්කළ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ශ්‍රී ලංකාවේ ජය තහවුරු විය. ජයග්‍රාහී ශ්‍රී ලංකාව ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර මැලේසියාව ගෝලයක් සහ උත්සාහක දිනුම් 2ක් ලැබීය.

සත් සාමාජික රගර් ක්‍රීඩාවේ නිරතුරුවම ජය පරාජය අවිනිශ්චිත බවත්, ඊයේ උදෑසන පැවැති කුසලාන තරගවටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල හොංකොං පිල හමුවේ පරාජය වීමෙන් තරමක කණගාටුවක් දැනුණු බවත් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු බෙන් ‍‍හොලික්ස් ‘දිනමිණ’ට පැවැසීය.

“කොහොම වුනත් අවසන් තරගය අපේ ක්‍රීඩකයන් ඉතා හොඳින් නිමා කළා. මම මේ ජයග්‍රහණය ගැන අතිශයින්ම සෑහීමකට පත්වෙනවා” හොලික්ස් පැවැසීය.

ශ්‍රී ලංකාව පළඟ ශූරතා තරග වටයට පිවිසියේ කුසලාන තරග වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රබල හොංකොං පිල හමුවේ ලකුණු 17-12ක පරාජයක් ලැබීමේ හේතුවෙනි.

කෙසේ වෙතත් පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී පිලිපීනයට එරෙහිව විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයක නිරතවු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 31-19ක ජයක් වාර්තා කරමින් පළඟ ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය. මැලේසියාව පළඟ ශූරතා අවසන් තරගයට පිවිසියේ කොරියාව ලකුණු 26-19කින් පරාජයට පත් කරමින්ය. පිලිපීනය සමග පැවැති තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 14 බැගින් ලබා සම තත්ත්වයක පසු වුවත් දෙවැනි භාගයේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2ක් සහ දිනුෂ චතුරංග උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පිලේ ජය තහවුරු කළේය.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදීම ලකුණු 31-19කින් මැලේසියාව පරාජය කිරීමට සමත්විය. තරගයේ පළමු භාගය නිමාවන විට දෙපිලම ලකුණු 14බැගින් ලබා සිටි අතර දෙවැනි භාගයේදී චූල සුසන්ත, සාලිය හඳපාන්ගොඩ සහ නයිජල් රත්වත්තේ විශිෂ්ට උත්සාහක දිනුම් 3ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූහ. නායක ෆසීල් මරිජා උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පත්කරනු ලැබීය. ඉරානයට එරෙහිව පැවැති දෙවැනි තරගයේදී ලකුණු 24-0ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ සාලිය හඳපාන්ගොඩ උත්සාහක දිනුම් 3ක් මේ තරගයේදී වාර්තා කළේය.

පළමු දිනයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය වූයේ චීනය සමග පැවැති තරගයයි. මේ තීරණාත්මක තරගයෙන් ලකුණු 28-12ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්වුවද කුසලාන තරග වටයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත්විය. ආසියානු සත් සාමාජික රගර් තරග බිමේ කුසලාන තරග වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය.

මැලේසියානු කණ්ඩායමට ෆිජී ක්‍රීඩකයන් 5ක්

මෙවර මුම්බායි තරගාවලිය නියෝජනය කළ මැලේසියානු ජාතික සත් සාමාජික රගර් පිලට ෆිජී ජාතික ක්‍රීඩකයන් 5දෙනෙකු ඇතුළත්ව සිටීම සෙසු කණ්ඩායම් අතරත් ආසියානු රගර් නිලධාරීන් අතරත් දැඩි කතාබහට ලක්විය.

එච්.එස්.බී.සී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෝන් මුවර්ද මේ සම්බන්ධව සිය විමතිය පළ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව ආසියානු රගර් සංගමයේ ලේකම් රොස් මිචෙල්ගෙන් විමසූවිට සුදුසුකම් ලත් විදේශීය ක්‍රීඩකයන් ඕනෑම ආසියානු රගර් කණ්ඩායමකට ඇතුළත් කර ගැනීමට අන්තර් ජාතික රගර් සංගමයේ නීතිරිතිවලට අනුව හැකියාව ඇතැයි ඔහු පැවැසූබව ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉලියාස් මහතා ‘දිනමිණ’ට පැවැසීය. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පිලටත් විදේශීය ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීම සම්බන්ධ යෝජනාවක් රගර් සංගමයේ විධායක කමිටු රැස්වීමේදී ඉදිරිපත් කරන බව ඉල්යාස් මහතා වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා