ජාතික නෙට්බෝල් ශූරියෝ බස්නාහිරින්

වයඹ කිරුළ ගැලවෙයි

ජාතික නෙට්බෝල් ශූරියෝ බස්නාහිරින්

ජාතික මහා ක්‍රීඩා උලෙළේ නෙට්බෝල් ශූරතාව බස්නාහිර පළාතට හිමිවිය. පසුගිය වසර දෙකකදීම පිට පිට ජාතික නෙට්බෝල් ශූරතාව දිනා සිටි වයඹ පළාත් පිල ලකුණු 69-55කින් පරදවා බස්නාහිර පළාත මෙවර ශූරතාව හිමිකර ගැනීම විශේෂත්වයකි.

ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් දැක්වු බස්නාහිර පළාතේ ශ්‍යාමලී දිනේෂිකා දෙහිගස්පිටිය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.

බස්නාහිර පළාතට ජාතික කණ්ඩායම නියෝජනය කළ ශෂිකා සමරසිංහ, තිසාලා අල්ගම, සෙමිනි ද අල්විස්, චාපා ගලප්පත්ති හා හිටපු නායිකා දමයන්ති ජයතිලක ක්‍රීඩා කළහ.

වයඹ පිල‍‍ට ධම්මිකා මල්කාන්ති, සදුනි බොල්ලෑගල, මරිෂා ප්‍රනාන්දු, ජී.ඩී.එන්.ප්‍රසාදි හා දුලනි එරන්දිකා වැනි ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.

තරගාවලියේ තෙවැනි ස්ථානයට දකුණු හා මධ්‍යම පළාත් අතර තරගයෙන් ලකුණු 47-41ක් ලෙස දකුණු පළාත ජය වාර්තා කිරීමට සමත්විය.

අවසන් පූර්ව තරගවලදී මධ්‍යම හා වයඹ අතර තරගයෙන් 48-34කින් වයඹ පළාතද, බස්නාහිර හා දකුණ අතර තරගයෙන් 59-42කින් බස්නාහිර ද ජය වාර්තා කිරීමට සමත්විය.

මූලික වටයේදී ඌව පිල වෙතින් 55-38ක් ලෙස උතුරුමැද පළාත, වයඹ පළාත වෙතින් 99-23ක් ලෙස නැ‍ඟෙනහිර පළාත, බස්නාහිර පළාත වෙතින් 69-38ක් ලෙස නැ‍ඟෙනහිර පළාත, දකුණු පළාත වෙතින් 58-35 ක් ලෙස සබරගමුව පළාත හා මධ්‍යම පළාත වෙතින් 59-42ක් ලෙස ඌව පළාත පරාජයට පත්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා