මහ වැසි කැටුව මහ කන්නය එයි!

මහ වැසි කැටුව මහ කන්නය එයි!

අව්ව - වැස්ස - ගංවතුර – නියඟය - නායයෑම් හා භූ චලන එසේම පවතීවි. දේශපාලන කුණාටු , කුමන්ත්‍රණ, වැඩ වර්ජන හා ගැටුම් ද එසේ ම පවතී වි. එහෙත් එක ම එක දෙයක් අත් නෑර සිදුකරන්නට අපට සිදු වේ. එනම්; වී ගොවිතැන ය. මිනිසුන් ජීවත් වීම සඳහා හුස්ම ගන්නා සේ ම; බිම් සකසා, බීජ වපුරා,වී ගොවිතැන් කළ යුතු ය. ඊට සාත්තු - සප්පායම් කළ යුතු ය. පොහොර හා පළිබෝධ නාශක යෙදිය යුතු ය. නිදිවර්ජිතව අස්වැන්න ආරක්ෂා කළ යුතු ය. කොටසක් පරිභෝජනයට ගෙන කොටසක් අලෙවි කළ යුතු ය. මේ හැමෙකක් ම පුංචි පහේ යුද්ධයක් බඳු ය.

අන්තර් මෝසමේ කඩා වැදීමත් සමඟ මුළු දිවයිනම තෙත බරියම් වී තිබේ. රජරට වැව් පිටාර ගලයි. කඳුකරයේ නායයෑම් පටන්ගෙන තිබේ. අනුවේදනීය සිදුවීම් අසන්නට ලැබේ. සමහර පළාත්වලට ගංවතුර තර්ජනයක් ද එබිකම් කරයි. මේ සියලු අලකලංචි මැද මහ කන්නය පැමිණ තිබේ. වී වගාවට ඇත්තේ කන්න දෙකකි. යල හා මහ වශයෙනි. එහෙත් ජනගහනයේ අධික වීමත් සමඟ බත් ඉල්ලා සිටින කටවල් ගණන ලක්ෂ ගණනින් ඉහළට නඟී. ඒ අනුව කන්න තුනක් වගා කළ හොත්; වඩා යහපත් ය. ප්‍රයෝජනවත් ය. හතරවන සියවසේ දී යල - මහ කන්නවලට අමතරව තවත් කන්නයක් වගා කළ බව තෝනිගල සෙල්ලිපියේ සඳහන් ය.

මහ කන්නයේ වප් මඟුල ඓතිහාසික අනුරාධපුරයේ සශ්‍රීක වෙල්යායක දී සිදු විණි. නියෝජ්‍ය ඇමැති එස්. එම්.චන්ද්‍රසේන මහතා සරමත් කැසකවා කුඹුරට බැස සී - සාන්නට පටන් ගත්තේ ය. ඔහුගේ වමතට නඟුල හොඳට හුරු ය. දකුණතට කෙවිට හොඳට හුරු ය. නියෝජ්‍ය ඇමැතිතුමා රජරට පළාතේ හොඳ ගොවියෙකි. සී - සෑමෙන් අනතුරුව පැවැති ජන හමුවට පැමිණි චන්ද්‍රසේන මහතා කියා සිටියේ මහින්ද චින්තනයට අනුව රටේ සහල් නිෂ්පාදනය ඉහළ ගිය බව ය. ගිය වසර කිහිපය තුළ වී නිෂ්පාදනයේ 17% ක අතිරික්තයක් පැවැති බවද; සහල් අපනයනය කිරීම කිහිප වරක් ම සිදු වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

රට, සහලින් ස්වයංපෝෂිත වීම ගැන බොහෝ දෙනකු කතා කරන්නේ නැත. සහල් මිල සැලැකිය යුතු මට්ටමකින් අඩුවීම ගැන ද කිසිවකු කතා කරන්නේ නැත. අද වන විට කුඹුරු අක්කර ලක්ෂ ගණනක් සාර්ථකව වගා කෙරේ. යල හා මහ කන්නවලට අමතර කන්නයක් වගා කරන ප්‍රදේශ ද පවතී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වී ගොවියාට යහපත් කාලයක් උදා වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයෙකි. උතුර – නැගෙනහිර හා උතුරු - මැද පළාත් යුද්ධයෙන් නිදහස් විය. පොහොර සහනාධාරය ඇතුළු තවත් පහසුකම් ලැබිණි. ගොවියාට වඩාත් සාර්ථක රාජ්‍ය අනුග්‍රහයක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 85%ක් පමණ ම අඩු - වැඩි වශයෙන් ගොවියෝ වෙති. ශ්‍රී ලංකාවේ සෑම පවුලක්ම කුමක් හෝ වගා කරන තත්ත්වයට රට පැමිණ තිබේ. තිරිඟු පිටි පරිභෝජනය සැලැකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබේ. ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් මතුවී ඇත්තේ කෘෂිකර්මාන්තයේ දියුණුවත් සමඟ ය. කාර්මික ප්‍රතිපත්ති හා වැඩසටහන් පවතින බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකාව මූලික වශයෙන් කෘෂිකාර්මික රාජ්‍යයක් බව අප විසින් පිළිගත යුතුව තිබේ. නිදහසින් පසු බිහි වූ රාජ්‍ය පාලකයන් අතරින් කෘෂිකර්මය සඳහා බුද්ධිමත් ම හා ඵලදායී අනුග්‍රහය ලබා දී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.

ඈත අතීතයේ පටන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරවන ප්‍රධාන සාධකය වූයේ වී වගාව ය. මීට හොඳ ම නිදසුන එදා පැවැති ජන ව්‍යාප්තිය යි. ක්‍රි.පූ. හයවන සියවසේ සිට ම අපගේ ජනාවාස පිහිටියේ වී වගාව මුල්කරගෙන ය. මල්වතුඔය, කලාඔය, මහවැලි ගඟ, ගල්ඔය, කැලණි ගඟ, කුඹුක්කන්ඔය, මැණික් ගඟ ආශ්‍රිතව පළමු ජනාවාස බිහිවිය. රජරට වැව් ආශ්‍රිතව දෙවන ජනාවාස බිහිවිය. වාරි කර්මාන්තයට මුල් තැන දෙමින් වී වගාව ආරම්භ වූයේ පණ්ඩුකාභය රජ සමයේ සිට ය. දේවානම්පියතිස්ස, වසභ, මුගලන්, අග්බෝ, පරාක්‍රමබාහු, ධාතුසේන වැනි රජවරු මහ වැව් ඉදිකොට රට බතින් ස්වයංපෝෂිත කළහ. රටේ නායකයා බත සැපයීමට උනන්දු නො වන කෙනකු නම්; රට ආපස්සට ගියේ ය.

1950 ගණන් වන විට රට පුරා කුඹුරු අක්කර ලක්ෂ දහතුනක් පැවැතිණි. මෙයින් 55%ක් සාර්ථකව අස්වැද්දූ අතර 45%ක් පුරන්ව පැවැතිණි. එකල වැඩි දෙනාගේ අවධානය යොමුව තිබුණේ පිටරට සහල් කෙරෙහි ය. නැවෙන් කටට සම්ප්‍රදාය එදා පැවැතිණි. එදා කුඹුරු සඳහා පොහොර ටොන් එක්ලක්ෂ අසූපන්දහසක් යෙදිය යුතුව තිබුණ ද පොහොර භාවිතයේ ප්‍රමාණය ටොන් 15,000 ඉක්ම වූයේ නැත. එදා වී වගාව කෙරෙහි පැවැති සැලැකිල්ල ඒ මගින් මොනවට පැහැදිලි වේ. එකල සෑම වසරකම පිටරටින් සහල් ටොන් පන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළේ ය. මේ සඳහා වියදම් කළ මුදල සුළු පටු නැත.

2008 – 2009 කාලය තුළ බරපතළ සහල් අර්බුදයක් හට ගැනිණි. ටයිම් සඟරාව එය හඳුන්වා තිබුණේ ආසියාවේ සහල් අර්බුදය ලෙස ය. පිලිපීනය, පාකිස්තානය, බංගලිදේශය, ඉන්දියාව වැනි රාජ්‍යයන්හි සහල් ගබඩා කඩා දමා සහල් තොග සොරාගන්නට රට වැසියෝ පෙලඹුණහ. ආසියාව තුළ පැවැති මේ බලවත් අර්බුදයෙන් නිදහස් වූ එක ම රාජ්‍යය ශ්‍රී ලංකාව විය යුතු ය. ශ්‍රී ලංකාවට සහල් හිඟය කළමනාකරණය කර ගත හැකි විය. මිල ගණන් ඉහළ ගියේ ද සුළු වශයෙනි. ශ්‍රී ලංකාව බඳු රටවලට ආහාර සුරක්ෂිත කිරීමේ දීර්ඝකාලීන වැඩසටහනක් තිබිය යුතු ය. 2008 රෝමයේ පැවැති ලෝක ආහාර සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව අවධාරණය කළේ ය.

වත්මන් ආණ්ඩුවට කෘෂිකර්මය සම්බන්ධයෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් තිබේ. ඒ බව සනාථ වන ප්‍රධාන සාධකය ලෙස සැලැකිය හැක්කේ සහලින් රට ස්වයංපෝෂිත කිරීම හා දිවි නැඟුම වැඩසටහන මගින් පවුල් ලක්ෂ පහළොවක් දුප්පත්කමින් ගොඩ ගැනීමට ගෙන ඇති පියවරවලින් ය. නියඟය, ජල හිඟය, පලිබෝධ වැනි සාධක කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය වැඩියෙන් යොමු විය යුතු ය.

ජලය මෙහිලා අතිශයින් ම වැදගත් වේ. වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගොවියන්ගෙන් ඉල්ලා සිටියේ මේ දිනවල ස්වාභාවික වර්ෂාවෙන් වී වගා කිරීමට පෙලැඹීම වැදගත් බව ය. එවිට රජරට වැව් පද්ධතියේ ජලය මතු ප්‍රයෝජනය සඳහා යොදා ගත හැකි ය.

ආණ්ඩුවේ උපදේශන පිළිපදින ගොවියෝ මෙන් ම ඒවා මායිම් නොකරන ගොවියෝ ද සිටිති. මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ උපදේශන මත ක්‍රියා කරමින් වී වගාව වඩාත් සාර්ථක කර ගැනීම ය. ඒ සඳහා අපේ ගොවියාට ඥානය පහළ වේ වා!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා