මෙවර අය-වැයෙන් සහන කප්පාදුවක් නෑ

මෙවර අය-වැයෙන් සහන කප්පාදුවක් නෑ

ආචාර්ය සරත් අමුණුගම

අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබද ජ්‍යෙෂ්ඨ ඇමැති

ලබන වර්ෂය සඳහා වන අයවැය සැකසෙන්නේ කිනම් ආර්ථික පසුබිමක් යටතේ ද යන්න පිළිබඳ හා වත්මන් ආර්ථික ප්‍රවණතා ගැන අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.

l ලබන වර්ෂය සඳහා වන විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම අය වැය සැකසෙන ආර්ථික පසුබිම පිළිබඳ ඔබේ විග්‍රහය කෙබඳුද?

මෙවර අයවැය සැකසෙන්නේ වෙනස් ආර්ථික පසුබිමක් යටතේ. අර්බුදයට ගිය ගෝලීය ආර්ථිකය තවමත් හිතපු විදිහට පුනර්ජීවනය වෙලා නෑ. අමෙරිකාවේ නිවාස වෙළෙඳපොළෙන් පටන්ගත් අර්බුදය බැංකු අර්බුදයක් බවට පරිවර්තනය වෙලා. යුරෝපයේ රටවල් ගණනාවකත් ආර්ථික ස්ථාවර භාවය අර්බුදයට ගෙන ගියා. ග්‍රීසිය ආර්ථික කඩාවැටීමට ලක්වූ රටක්. ග්‍රීසියට ණය දුන් බැංකු තිබෙන සයිප්‍රසය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ඉතාලිය පවා ග්‍රීසිය ණය ආපසු නොගෙව්වොත් විශාල අර්බුදයකට යනවා. මේ අමෙරිකා යුරෝපා අර්බුදය දැන් අපටත් බලපාන්න පටන් අරන්. එය බලපාන ප්‍රධානතම ආකාරය තමයි. අපේ රටේ අපනයන ක්ෂේත්‍රයට ඉන් ඇතිවන බලපෑම අපේ ප්‍රධාන අපනයන වන තේ, ඇඟලුම් සහ වෙනත් භාණ්ඩ වලින් සියයට 60කටත් වඩා අපි අලෙවිකළේ අමරිකාව සහ යුරෝපා රටවලටයි. මේ රටවල මිලදී ගැනීමේ ශක්තිය හීනවෙනකොට ඒක අපේ නිෂ්පාදනයන්ට සෘජුවම බලපානවා.

අනෙක් කාරණය තමයි ආනයන සඳහා අප වැය කරන මුදල් ප්‍රමාණය විශාල ලෙස වැඩිවීම, ඊට වඩාත් බලපෑවේ තෙල් මිල ඉහළයාම සහ අප ලාබයට තෙල් ලබාගත් ඉරානයට සම්බාධක පැණවීම ඉරානය අපට ණයට තෙල් ලබාදුන්නා පමණක් නොවෙයි,ඒ ණය ගෙවීමට දීර්ඝ සහන කාලයක් ලබාදුන්නා. නමුත් වෙනත් වෙළඳපොළවලින් තෙල් ගන්නා විට අප එවෙලේම මුදල් ගෙවිය යුතුයි’ ඊළඟට නියං තත්ත්වය නිසා තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩියි.

අය වැයක් හදද්දි මේ සියල්ලම සලකලා බලන්න අපට හා සිදුවෙනවා.

l මේ කාරණා අය – වැයට බලපාන ආකාරය ගැන පැහැදිලි කළ හැකිද?

අයවැය ලේඛනයේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පුනරාවර්තන වියදම් අනවර්තයෙන්ම වැඩිවෙනවා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියා සැපයීම, වැටුප් වැඩිවීම, රැකියා සඳහා තරුණ පිරිස් වැඩියෙන් බඳවා ගැනීම, සහ සාමාන්‍ය හේතූ නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් පුනරාවර්තන වියදම්වල බර වැඩිවීමට බලපානවා. දල වශයෙන් බැලුවොත් අපේ රටේ ආදායම සෑහෙන්නෙ යම්තමින් පුනරාවර්තන වියදම පියවා ගැනීමට පමණයි. දැන් අපි හුඟාක් දුරට ණය ලබාගෙනත් තිබෙනවා. තවත් විශාල ලෙස ණය ගැනීමේ හැකියාවකුත් නැහැ. එහිදී ඉහළින් ඇති යම් සීමා මට්ටමක් තියෙනවා. අපි එතැනින් ඔබ්බට යන්න බෑ. ගියත් වෙන්නෙ මේ ආර්ථිකය දුර්වල ආර්ථිකයක් හැටියට කාගේත් අවධානයට යොමුවීමයි. එහෙම වුණොත් ලංකාවේ තියන බැඳුම්කර, ණය, රක්ෂණ, ආදී සියල්ලේ මිල ඉහළ යනවා. මොකද, මේ රට අවදානම් තත්ත්වයකට ගිහින් කියල ඒ අය පෙන්නුම් කරන නිසා.

රටක් හැටියට අපි හැකිතාක් ණය බර අඩු කළ යුතුයි. අය වැය සැකසීමේදී මේ හැම කාරණයක්ම ගැන අවබෝධයකින් යුතුව තමයි එය සිදුවෙන්නෙ.

l මෙහිදී අදාළ වෙන වෙනත් දුෂ්කරතා මොනවාද?

මුලින් අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ඉහළට නැග්ගා. වී ගොවිතැන පමණක් නොවෙයි, වෙනත් කෘෂි නිෂ්පාදන සහ වැවිලි බෝගත් වර්ධනය වුණා. ඒ කියන්නෙ අපේ ආදායම ඉහළ ගියා. ඒ වගේම මේවා පිටරටින් ගෙන්නන එක අඩුවීම නිසාත් මුදල් ඉතිරි වුණා. නමුත් දැන් ආනයන සඳහාත් වැඩි වියදමක් දරන්න වෙලා. වාරිමාර්ග සංවර්ධනය, ගොවීන්ට සහන ලබාදීම වගේ කාරණාත් අපි ඉටුකළ යුතුයි. ඒ කියන්නෙ මේක පහසු තත්ත්වයක් නෙවෙයි. නමුත්, අපේ ජනාධිපතිතුමා තීරණය කරල තියෙනවා, මේ සහන සහ සේවා කිසි විදිහකින් වත් ලඝු නොකොට ඉදිරියටත් පවත්වාගත යුතුයි කියලා. ඒ කියන්නෙ මහ ජනතාවට ලැබෙන දේවල් කප්පාදු කෙරෙන්නෙ නෑ. ඉදිරි අය වැය සකස් කරන්නේ මේ පසුබිම තුළ හිඳිමිනුයි.

l අයවැයටත් බලපාන සහනදායක තත්ත්වයන් තිබෙනවාද?

අසීරුතා තියෙනවා වගේම එවැනි සහනදායික කාරණත් තියෙනවා. පිටරට සිටින අපේ ශ්‍රමික ජනතාව මේ රටට එවන මුදල් ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබීම එකක්: අපේ මේ ශ්‍රමිකයන්, ඇ.ඩො. බිලියන 6 ක් වර්ෂයකට රටට එවනවා. මේ විශාල මුදල ගම්බද පළාත්වලට යනවා. ග්‍රාමීය ආර්ථිකය ඉක්මනින් දියුණුවීමට එය විශාල රුකුලක්.

සාංචාරක ව්‍යාපාරය වේගයෙන් දියුණුවෙමින් තිබීම තවත් කාරණයක්. ඊළඟට අභියෝග තිබුණත් තවමත් අපේ තේ සහ අනෙකුත් භාණ්ඩ වෙළෙඳාම යම් මට්ටමකින් පවත්වාගෙන යනවා. තේ සඳහා ඇ. ඩො. බිලියනයක පමණ ආදායමක් අපට ලැබෙනවා. අප් ආර්ථිකයේ පවතින මේ පරිවර්තනීය ස්වභාවය නිසා අපට නැඟී සිටීමට පුළුවන්.

ඒ අතරතුර අපි අලුත් දේවල් ගැන කල්පනා කළ යුතුයි. නිදසුනක් හැටියට වෙළෙඳපොළ නැතිවුණා කිය කියා අපට හූල්ලන්න බෑ. අපි කලාපීය වෙළෙඳපොළවල් ගොඩනැඟිය යුතුයි.

l සාමාන්‍යයෙන් අය – වැයක් එනකොට ජනතාව බලාගෙන ඉන්නේ මොනවද ලැබෙන සහන කියලා. ලෝක ආර්ථිකය හැසිරෙන මේ පසුබිම තුළ මෙවර අය වැයෙන් අපේක්ෂා කළ හැකි සහන ගැන යමක් කිව හැකිද?

සහනදායී අය – වැයක් හදන්න රජය සෑමවිටම ලෑස්තියි. කිසිම රජයක් විශේෂයෙන් ශ්‍රී ලනිපය මූලිකව ගොඩනැගූ රජයක් ජනතාවට සහන නොදී ඉන්න කැමැතිවෙන්නෙ නෑ. සහන දෙන එක මනින්න වෙන්නෙ ආර්ථිකයේ තත්ත්වය අනුවයි. මෙතැනදි එක් දෙයක් අපි හොඳින් මතක තබා ගත යුතුයි’ ඒ වැය කරන මුදල් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි.

මුදල් අපතේ යාමක් වෙන බවටත් චෝදනා නැඟෙනවා. උපරිම ප්‍රතිඵල පරිපාලන ව්‍යුහයෙන් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඉක්මනින් තීරණ නොගැනීම, පහසුකම් ලබා නොදීම වගේ දේවල් ගැන මැසිවිලි නැඟෙනවා.

මේ අඩු පාඩු සකස්කර ගත යුතුයි. නිලධාරි පැලැන්තියත් එක්ක සංවර්ධනයට යාම අසීරුයි. රටේ ඇතැම් විශාල ආයතනවල පරිපාලනය හරිම දුර්වලයි. මම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, දවසින් දවස අපට හමුවෙන්නෙ කිසිම තීන්දුවක් ගන්න බැරි නිලධාරීන්. එක්කො වෘත්තීය සමිිතිවල බලපෑම්. නැත්නම් දැනුම නැතිකම, තවත් සමහරවිට තමන්ගෙ දක්ෂකම අනවශ්‍ය තැනකට යොදවලා.

මේ නිසා රජය විශාල ලෙස අයවැයෙන් මුදල් වෙන්කළත් ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද හරියට මේක සිදුවනවාද කියන එක ගැන අපට සිතන්න වෙනවා. මාස 6න් කරන්න පුළුවන් වැඩේට අවුරුදු 2 ක් ගන්නවා නම් වැඩක් නෑනෙ. ඉදිරි අය වැයේදී නාස්තිය අවම කිරීම සහ ඉලක්ක සපුරා ගැනීම ගැන අපි සැලකිලිමත් විය යුතුයි.

l පළාත් පාලන මැතිවරණ වලින් පටන්ගෙන සමානුපාතික නියෝජන ක්‍රමය සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා. දියුණු දේශපාලන සංස්කෘතියක් සඳහා බෙහෙවින් ඉවහල්වන මේ ක්‍රියාමාර්ගයේ ඇති වැදගත්කම ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

පසුගියදා සම්මත වූ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත නිසා විශේෂයෙන්, . ගම් මට්ටමේ සැලකිය යුතු වෙනසක් වෙයි කියල කියන්න පුළුවන්. ප්‍රාදේශීය සභා සඳහා නියෝජිතයන් තෝරාගැනීමේදී මුළු ආසනයේම නියෝජනයක් මෙහිදී ඇතිවෙනවා.

මුලින් වෝඩ් ක්‍රමය යනුවෙන් හැඳින්වුණෙත් මේ ක්‍රමයයි. නව වෙනස්කම් නිසා ගමට ඉතා සමීප දේශපාලන නියෝජනයක් ඇතිවෙනවා වගේම ගම්මට්ටමින් බලපාන ප්‍රශ්න පහසුවෙන් හා කඩිනමින් විසඳීමටත් හැකිවෙනවා.

මනාප ඡන්ද ක්‍රමය නිසා ප්‍රාදේශීය සභා ඡන්දයක්, පාර්ලිමේන්තු ඡන්දයක් තරම් තරඟකාරී මුහුණුවරක් ගෙන තිබුණා. ඒ ක්‍රමය යටතේ බොහෝ දුරට දේශපාලනය කළේ ජාති – ආගම් – කුලභේද ආදිය පවා අවුස්සමිනුයි. තවත් කාරණයක් තමයි, පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් සංවර්ධන කටයුතුවලදී පවා එක ස්ථාවරයක නැතිවීම. ඒ ක්‍රමය යටතේ ඇතිවෙලා තිබුණා.

සංවර්ධනයේදී එය හරහට හිටින සාධකයක්. නමුත්, මනාප ක්‍රමය වෙනස්වීම නිසා සාමූහික බවකින් යුතුව කටයුතු කිරීමට මේ නියෝජිතයන් තුළ නැඹුරුවක් ඇතිවෙනවා. අනවශ්‍ය ගැටුම්කාරීත්වයක් ඇතිනොවීම මඟින් ගම් ප්‍රදේශවලට වැඩි යහපතකුත් සැලසෙනවා. ඇත්තටම පැරැණි ක්‍රමය යටතේ ගැටුම්කාරී දේශපාලන සංස්කෘතියක් ඉස්මතු වුණේ නෑ. ඒ නිසා මේ වෙනනස්කම් ඇතිවීම ඉතාම යහපත්.

ඒ වගේම ගම්මට්ටමින් දක්ෂ අවංක මෙන්ම පිරිසිදු දේශපාලන නියෝජනයක් ඇතිකර ගැනීමට නව වෙනස්කම් නිසා හැකිවෙනවා. ඒ වගේම වගකීම් සහගත ඡන්ද දායකයන් ඇමතීමටත් මේ නිසා දේශපාලනඥයින්ට හා පක්ෂවලට අවස්ථාව ලැබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා