මුද්‍රණය සඳහා

 
කඨින පෙරහරට බහුරූ කෝලම් උචිත නෑ

කඨින පෙරහරට බහුරූ කෝලම් උචිත නෑ

දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී

වෙන්නවත්තේ රතනජෝති හිමි

බෞද්ධයන් ඉතා උතුම්කොට සලකන කඨින පුණ්‍යෝත්සව පැවැත්වෙන හෙයින් වස්සාන කාලය නිමා කරමින් එළැඹෙන මාසය බෞද්ධයන් හඳුන්වන්නේ කඨින චීවර මාසය ලෙස ය. මෙවර අප දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති හිමියන් සමඟ සාකච්ඡා කරන්නේ කඨින පින්කමක වැදගත්කම හා ගිහි පැවිදි දෙපාර්ශවයට ඉන් අත්වන ආනිසංස පිළිබඳවයි.

l කඨිනය යන්නෙහි අර්ථය සහ කඨින පින්කමෙහි ආරම්භය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

කඨිනය යන්නෙන් අර්ථවත් කෙරෙන්නේ සිවුර යන්නයි. කඨින පින්කමෙහි මූලික කටයුත්ත වන්නේ සිවුරක් එහෙමත් නැතිනම් චීවරයක් පූජා කිරීමයි. කඨින පූජාවෙහි ඉතිහාසය බොහෝ ඈතට දිවයනවා. අද වගේම බුද්ධ කාලයේත් හේමන්ත, ගිම්හාන වස්සාන යනුවෙන් සෘතු තුනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ පහළවන කාලය වනවිට ඉන්දියාවේ සිටි අනෙකුත් සමකාලීන ආගමික පූජකවරු සහ ඔවුන්ගේ අනුගාමිකයන් වර්ෂා කාලයේ ගමන්බිමන් ගියේ නැහැ. වර්ෂා කාලයට පුංචි පැළෑටි දළුදා වැඩෙනවා. කෘමීන්, පණුවන් වැනි සතුන් පෙළොවෙන් උඩට මතුවෙනවා. එම නිසා පරම අවිහිංසාවාදී දර්ශනයක් ඇදහු මේ ආගමික පිරිස් සතුන්ට සහ පැළෑටිවලට හානි වීමෙන් තමන්ට අකුසලයක් සිදුවේයැයි සිතා වර්ෂා කාලයේ ආරාමික ජීවිතයක් ගත කළා.

නමුත් පිණ්ඩපාතයෙන් යැපුන බෞද්ධ භික්ෂුන්ට සිවුරු පිරිකර, ආහාරපාන සපයා ගන්න මේ කාලයේත් ඇවිදින්න සිදුවුණා. එය දැකපු අනෙකුත් ආගමික පූජකවරු හා ඔවුන්ගේ අනුගාමිකයන් භික්ෂුන් වහන්සේලාට දොස් නැගුවා. ඔවුන් අධික තණ්හාධික පිරිසක් යයි චෝදනා කළා. ඒ නිසා භික්ෂුන්ට වස්සාන කාලයේ තුන් මාසයක් ආරාමිකව වාසය කරන්න බුදුරජාණන් වහන්සේ අනුමත කළා. වස් කාලය ආරම්භ වුණේ ඒ අනුවයි. වස් පවාරණ කළාට පසු ජනතාව භික්ෂුන් වහන්සේලාට සිවුරු පිරිකර පූජා කළා. අද කඨින පින්කම ලෙස ඉතා උත්කර්ෂවත්ව පවත්වන්නේ මේ සිවුරු පූජාවයි.

l වස් වැසීම හා කඨින චීවර පූජාව අතර තිබෙන සම්බන්ධතාවය කෙබඳුද?

වස් වැසුවේ නැත්නම් කඨිනයක් කරන්න බැහැ. ඒ වගේම උපසම්පදා නොවුණු භික්ෂුවකට වස් වසන්නත් බැහැ. සාමණේර හිමිවරුන්ට වස් වසන්න පුළුවන්. නමුත් කඨිනයක් සිදුකිරීමේ අවකාශය නැහැ. උපසම්පදා භික්ෂුවක් වුවත් පෙර පොහොයට වස්වැසුවේ නැත්නම් කඨිනයක් කරන්න බැහැ. පෙර පොහොය ලෙස හඳුන්වන්නේ ඇසළ පොහොය. ඇසළ පොහොයෙන් ආරම්භ කරන වස් කාලය පවාරණ කරන්නේ බිනර පොහොයෙනි. බිනර පොහොයේ සිට මාසයක් පුරා කඨින පින්කම් පවත්වන්න පුළුවන්. මේ මාසය තුළ කඨින පින්කම් පවත්වා අවසන් වෙන්න ඕනෑ.

සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන්නේ තුන් සිවුරයි. එදා බුදුරජාණන් වහන්සේ තුන් සිවුරට අමතරව කඨිනයක් දරන්න භික්ෂුන් වහන්සේලාට අවසර දුන්නා. තුන් මාසයක් වස් ආරක්ෂා කළ භික්ෂුන්ට තමයි මේ කඨින චීවරය පූජා කරන්නේ. වස් වැසීම සඳහා උපසපන් භික්ෂුන් පස් දෙනෙකුවත් සිටිය යුතුයි. නැතිනම් කඨිනයක් කරන්න බැහැ. ඒ වගේම කඨින චීවරය හිමිවිය යුතු භික්ෂුව සම්මත කරගන්නේත් භික්ෂුන් වහන්සේලාමයි. කඨින සිවුර පිරිනමන භික්ෂුව පිළිබඳ දැන ගත හැක්කේ කඨින ආනිසංස බණ කියන අවස්ථාවේදියි.

l බෞද්ධ ජනතාව ඉතාමත් උතුම්කොට සලකන මේ කඨින පින්කමෙහි තිබෙන ආනිසංස මොනවාද?

එදා වස් වැසු භික්ෂුන් වහන්සේලාට සිවුරක් පූජා කිරීමෙන් ආරම්භ කෙරුණු කඨින පින්කමට පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා. රාජ අනුග්‍රහයත් ලැබීමෙන් පසු කඨින පින්කමට පෙරහර සංකල්පය ආවා. අදත්් කඨින පින්කම ඉතාමත් ඉහළින් පවත්වනවා.

බුදු දහමේ මහානුභාව බලසම්පන්න පින්කම් 8ක් උගන්වනවා. ඉන් පළමුවැන්න වන්නේ කඨින පින්කමයි. කඨිනයක වටිනාකම කොතරම්ද කියනවා නම් ආනන්තරීය පාපකර්ම හැර සෙසු සියලුම පාපකර්ම යටපත් කරන්න කඨින පූජාවකට පුළුවන්. කඨින පින්කම් ඒතරම් ප්‍රබලයි. ඒ වගේම ගිහි පැවිදි දෙපිරිසටම මෙහි ප්‍රතිඵල එක ලෙස ලබාගන්න පුළුවන්. විශේෂයෙන් කඨිනයක් දරන භික්ෂුවටත් ගොඩාක් ආනිසංස ලැබෙනවා.

සාංඝික දානයකට භික්ෂුවක් අඩුනම් ඒ වෙනුවට කඨින සිවුරක් තබන්න පුළුවන්. ඒ තරමට කඨිනය බලවන්තයි. කඨිනයක් දරන්න පුළුවන් නියමාකාරයෙන් වස්වැසූ භික්ෂුවකට පමණයි. වස් කාලය තුළ භික්ෂුන් ආරාමිකව වාසය කිරීමත් අාධ්‍යාත්මික දියුණුවට සිත යොමු කිරීමත් වැදගත්.

පොදුවේ ගත් කල්හි කඨිනය කියන්නේ ආශ්චර්යමත් පින්කමක්. ඒ නිසා ගොඩාක් බෞද්ධයන් ජීවිතයේ එක්වරක් හෝ කඨින සිවුරක් පූජාකරන්න කටයුතු කරනවා. විශේෂයෙන් අදවනවිට කඨින පින්කම කෙරෙහි බෞද්ධයන්ගේ විශාල උනන්දුවක් තිබෙනවා.

l මේ ආශ්චර්යමත් පින්කමට අද බෞද්ධයන් පෙළගැසෙන ආකාරය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?

අද පැවැත්වෙන කඨින පින්කම් දිහා බැලුවහොත් අපිට පේන්නේ ඒවායෙහි පෙරහරට තමයි මුල්තැන ලබා දෙන්නේ. කඨිනය කියන්නේ කුමක්ද? එය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියලා බොහෝ දෙනාට නිවරැදි අවබෝධයක් නැහැ. මාස ගාණකට පෙර සිට කඨිනයට සැලසුම් හදනවා. නමුත් අවසානයේ කඨිනයේ මූලික අරමුණ යටපත් වෙලා පෙරහර සංකල්පයට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.

අද කඨින පින්කම බහුරූ කෝලමක් බවට පත්වෙලා. පන්සල්වල කඨින පින්කම් අවසාන වුනාට පසු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඇතැම් විට රාත්‍රියේ ගමන් ආරම්භ කරන පෙරහර මුළු ගම වටේම ගිහින් උදෑසන වෙනතුරු ගමන් කරනවා. මේවායේදී තරුණ පිරිස් පාර දෙපස ගෙවල්වලට හානි කරමින් විවිධාකාරයේ විකාරරූපි දේවල් සිදු කරන අවස්ථා අපි දකිනවා. ඒ වගේම කාවඩි නටමින්, මෝලන් ගසමින් තමයි පෙරහරේ යන්නේ. පංචතූර්ය වාදනය කළාට වරදක් නැහැ. නමුත් අනවශ්‍ය නැටුම් ගැයුම් කඨින පෙරහරට උචිත නැහැ. ඒවායෙන් වෙන්නේ මේ මහානර්ඝ පින්කමට නිග්‍රහයක් . අද මේ කරුණු රාග, ද්වේශ, මෝහ වැඩිවෙන්නත් හේතු වෙලා තිබෙනවා.

අද කඨින පින්කම ප්‍රදර්ශනයට හා තරගයට හසුවෙලා. එකිනෙකා අතර තිබෙන තරගය නිසා මේ පින්කමට ලක්ෂ ගණන් වියදම් කරනවා. නමුත් ඒ වියදම් කරන්නේ මේ පින්කමේ තිබෙන ආනිසංස සහ වටිනාකම පිළිබඳ අවබෝධයකින් නොවෙයි. ඒ නිසා විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට යායුතු මේ පින්කම බහුරූ කෝලම් නිසා ඇද හෑල්ලුවට ලක්වෙලා.

l මේ ස්වභාවය වෙනස් කරන්න ඔබවහන්සේ ගිහි පැවිදි දෙපිරිසට ගෙනෙන යෝජනා මොනවාද?

බුදුදහමේ උගන්වන ආකාරයට මහානුභාව බලසම්පන්න කඨින පින්කමෙහි වටිනාකම නිවැරැදිව අවබෝධ කරගෙන එයට හානියක් නොවන පරිදි කටයුතු කරන්න කියලා මම ගිහි පැවිදි දෙපිරිසගෙන්ම ඉල්ලීමක් කරනවා. කඨින පෙරහර රාත්‍රියේම ගමන් කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ නිසා කාටත් පහසු එළිය තිබෙන වෙලාවක පැයකින් දෙකකින් අවසන් කළ හැකි ආකාරයට සංවිධානය කරන්න. නැත්නම් එය හැමෝටම කරදරයක් වෙනවා. ඒ වගේම කඨින පෙරහරේ ගමන් කරද්දී සුදුවතින් සැරසිලා, මල් වට්ටියක් අරගෙන බුදුගුණ ගායනා කරමින් ගමන් කරන්න. කඨින පින්කමට මහා ඝෝෂාවක් අවශ්‍ය නැහැ. ඝෝෂා කර කඨින පින්කම හෑල්ලුවට ලක් කරන්න එපා.

භික්ෂුන් වහන්සේලා තමයි කඨින පින්කමේ නියමුවෝ. ඒ නිසා උන්වහන්සේලා නියමාකාරයෙන් මේ පින්කම සැලසුම් කළ යුතුයි. කඨින පෙරහරේ බහුරූ කෝලම් නටන්න ඉඩ තියන්න එපා. මෙය නටන, ගයන උත්සවයක් නොවන වග දායකයන්ට අවබෝධ කරවිය යුතුයි. කඨිනයේ වගකීම භික්ෂුව සතුයි. ඒ නිසා මේ පින්කමේ මූලිකත්වය භික්ෂුන් වහන්සේලා ගත යුතුයි. ඒ වගේම කඨින පින්කම සමාජ තත්ත්වය පෙන්වන හුදු උත්සවයක් බවට පත්කරගත යුතු නැහැ. එහි නියම ප්‍රතිඵල ලබාගන්න නම් අවබෝධයෙන් කටයුතු කරන්න.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]