ප්‍රධාන සැකකාර කන්ගැට්ටා මීගමුවේදී අත්අඩංගුවට

ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම

ප්‍රධාන සැකකාර කන්ගැට්ටා මීගමුවේදී අත්අඩංගුවට

රටින් පනින්න සැලැසුම් කරලා

සැකකරු ළඟ සෙල්ෆෝන් 16ක්

තවත් සැකකරුවන් ළඟදීම කොටු කරගනී

කොළඹ ජාතික කෞතුකාගාරයේ මිල කළ නොහැකි කෞතුක වස්තු සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ ලංසගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් “කන් ගැට්ටා” රහස් පොලිසිය මඟින් මීගමුව ප්‍රදේශයේදී පෙරේදා (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව ප්‍රධාන සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

සැකකරු හොර මුහුදු මාර්ගයක් ඔස්සේ මෙරටින් පැනගැනීමට සැලසුම් කර සැඟව සිටියදී මෙසේ රහස් පොලිසියට ලැබුණු තොරතුරක් සහ දුරකථන පණිවුඩ ජාලයෙන් ලබාගත් තාක්ෂණික තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේදී කෞතුක වස්තු සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසය හා පොලිිස් බුද්ධි තොරතුරු අංශ මඟින් මෙහෙයුම් නොකඩවා සිදුකෙරිණි.

එසේ පරීක්ෂණ සිදුකෙරෙමින් තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය සහ පිළියන්දල පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් කෞතුක වස්තු සඟවාගෙන සිටි පුද්ගලයන් හයදෙනකු සහ එම පුරාවස්තු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය.

අනතුරුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූයේ මේ භාණ්ඩ සොරකමේ ප්‍රධාන සැකකරු කන් ගැට්ටා බවයි.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදුකෙරෙද්දී සැකකරු නුවරඑළිය, කුරුණෑගල, ගල්ගමුව, මහව, බදුල්ල, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ ගණනාවක සැඟවෙමින් සිටියේය.

තවද සැකකරු ජංගම දුරකථන 16ක් භාවිතා කරමින් පොලිසියෙන් බේරී සිටීමට උත්සාහ කළේය.

මොහුගේ දුරකථන පණිවුඩ තෝරා බේරා ගැනීමට පොලිසියට දුරකථන ජාලයේ අංක ලක්ෂ තුනක් පමණ පරීක්ෂා කිරීමට සිදු විය.

අනතුරුව සැකකරු රටින් පැන ගැනීමට දින කිහිපයක් තිබිය දී පොලිසිය ඔහු කොටුකර ගැනීමට සමත් විය.

මේ වනවිටත් සැකකරුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. එම ප්‍රශ්න කිරීමේ වලට අනුව මේ මහා පරිමාණ පුරාවස්තු කොල්ලයට සම්බන්ධ තවත් පිරිසක් අද හෙටම කොටු වනු ඇත.

ජාතික කෞතුකාගාරයට අයුතු අන්දමින් අතුළු වී මේ වසරේ මාර්තු 16 දා රාත්‍රියේදී එහි වටිනා භාණ්ඩ රැසක් සොරකම් කරන ලදී. කෞතුකාගාරයේ උඩු මහලේ පිහිටි අවි ආයුධ මැදිරිය කැඩූ සැකකරුවන් එහි තිබූ රන් ආලේපිත කස්ථාන කඩු 10ක්, කානේලියන් වර්ගයේ මැණික් ඔබ්බ වූ රන් මුදුවක්, රිදී මුදු 18ක්, රන් කාසි 93ක්, රිදී කාසි 50ක්, ඊයම් කාසි 09ක්, විවිධ වර්ගයේ මුදල් නෝට්ටු 34ක්, නුගවෙල අදිකාරම් භාවිතා කළ මැණික් ඔබ්බ වූ බස්තම් දෙකක් හා රන් නූල් සහිත බඳ පටිය සහ රන් රිදී කොපු සහිත කඩුවක් සොරකම් කළ භාණ්ඩ අතර වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ භාණ්ඩවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 43කට අධික බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ කෞතුකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර තිබූ නමුත් අදාළ සොරකම සිදුවීමට දින දෙකකට ප්‍රථම ඒවා අක්‍රීය වී තිබූ බවද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ජාතික කෞතුගාරයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් 07 දෙනෙකුගේ වැඩ තහනම් කළ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් පුද්ගලයන් සිය දෙනෙකුගේ පමණ ඇඟිලි සළකුණු සටහන් කර ගැනුණි.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් කිහිපදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර බිල්ඩර් ප්‍රසාද්, හික්කඩුව ගමගේ සුජීව දේශප්‍රිය, කොරතොට ආරච්චිගේ නිලන්ති දේශප්‍රිය පෙරේරා, සේනාධීරගේ එස්ටිනා ඔසිලියා පෙරේරා යන අය ඔවුන් අතර වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම පෞරාණික වටිනාකමින් යුතු භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරුවෙකු වශයෙන් හඳුන්වන බිල්ඩර් ප්‍රසාද් නැමැත්තා ළඟ තිබූ පුරා වස්තු සහිත පාර්සලය ඔහු වෙත ලබාදී ඇත්තේ ලංසගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කන් ගැට්ටා බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පාපෝච්චාරණය කර ඇත.

ඒ අනුව පොලිස් අපරාධ කොට්ඨාසය සිදුකළ පරීක්ෂණයන්ට අනුව මේ පුද්ගලයා රටේ විවිධ ප්‍රදේශයන්හි සැඟවී සිටි බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මේ වනවිට ද මෙම ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පසුවෙයි. රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා