යහපත් වැඩ කිරීමට උත්සාහ ගනිමු

බිනර පොහෝදා ධර්මානුශාසනාව

යහපත් වැඩ කිරීමට උත්සාහ ගනිමු

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි

රුහුණු විශ්වවිද්‍යාලය

බෞද්ධ දර්ශන අංශය

යොච පුබ්බෙ පමජ්ජිත්වා

පච්ඡා සො න පපමජ්ජති

සො ඉමං ලොකං පභාසෙති

අබ්භා මුතේතාව චන්දිමා

‘යමෙක් මුලදී වැරදි කොට

පසුව එබඳු වැරදි නොකරයි නම්

ඔහු වලාකුළුවලින් මිදීගත්

සඳක් සේ ලොව බබළවන්නේය,’

පින්වතුනි

අද ඉල් පුර පසළොස්වක පොහේ දිනයි. අද වැනි දවසක රාත්‍රියේ අහස දිහා බලන්න. ඉල් හඳ අහසේ බබලනවා ඇති. සමහරවිට වලාකුළකින් එය වසා සිටිනවාත් ඇති. ඒ වලාකුළ සුළඟින් ගසාගෙන ගියවිට වලාකුළින් මිදුණු හඳ අපූරුවට බබළන අයුරු ඔබට පෙනේවි. සඳ විතරක් නොවේ මුළු පරිසරයටම එහි ආලෝකය ලැබේවි.

බුදුරජාණන් වහන්සේ මේ සඳේ උපමාව දක්වන්නේ වැරදි කරන මිනිසාට ඒ වැරැද්දෙන් මිදී නිවැරදි මිනිසකු බවට පත්වන්නට හැකි බවයි. වැරදි කරන සමහරු ඒ වැරදි හැමදාම කරමින් අඳුරේ ඇලි ගැලී සිටිනවා. ඔහු අපරාධකාරයකු වශයෙන් හංවඩු ගසනු ලබනවා. ඕනෑම වැරදි කරන මිනිසකුට එයින් නිදහස් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය අංගුලිමාල නම් වූ මිනිස් ඝාතකයාගේ චරිතයයි.

ඔහු කෝලම්කාරී සමාජය නිසා, මහා මිනිස් ඝාතකයෙකු වුණා. මිනිසුන් දහස් ගණනක් මරා දැම්මා. ඔහු එබඳු අපරාධකාරයකු වුණේ ඊර්ෂාකාරී සමාජය නිසයි. සමාජයේ බොහෝ දෙනෙකුගේ නිගමනය වන්නේ එබඳු භයානක මිනිමරුවකු මිහිපිට නොතැබිය යුතු බවයි. ඉක්මනටම ඔහු සොයා ඝාතනය කළ යුතු බවයි. මෙතරම් භයානක අපරාධකරුවකුටත් වලාකුළින් මිදීගත් සඳක් සේ බැබළීමට හැකි බවත්, අපරාධකාරයා, මරා නොදමා පුනරුත්ථාපනය කළ යුතු කෙනෙක් බවත් ලොවට පළමුව පැහැදිලි කළේ අප තථාගත බුදුරජාණන් වහන්සේ පමණි.

මිනිමරුවකු ඝාතනය කොට ඔහුට නිසි දඬුවම දිය යුතු බව එදත්, අදත් සමාජය තුළ ඇති තීන්දුව බොහෝ සරල එකකි. මෙහිදී බුදුරදුන් පෙන්වා දෙන්නේ කුමක්ද? මිනීමරුවාගේ හිස ගසා දමන අළුගෝසුවාද කරන්නේ එකම ඝාතන ක්‍රියාවකි. මිනීමරුවා නීතියෙන් වැරදිකරුවකු වන අතර අළුගෝසුවා නීතියෙන් නිදහස් කෙනෙකි. එහෙත් සිදුවන්නේ එකම ප්‍රතිඵලයකි. අංගුලිමාල චරිතය තුළින් අපට ආදර්ශය ගත්තේ අපරාධකරුවා වලාකුළින් මිදුණු පුර සඳක් සේ ශාන්තුවරයකු බවට පත් කළ හැකි බවයි.

සඳක් වැසී යන්නේ බාහිරින් ගසාගෙන එන වලාකුළුවලිනි. මිනිසාට එසේ නොවේ මිනිසා අපරාධවලට වැරදිවලට පෙලඹෙන්නේ බාහිරින් වන අඳුරු හෙවනැලි මෙන්ම අභ්‍යන්තරයෙන් හෙවත් සිත තුළින් බිහිවන කෙළෙස් නැමති අඳුරු වලාපටලයන්ගෙනි. බුදුදහම මේ අංශ දෙක පිළිබඳව පෙන්වා දෙයි. මිනිසකු අපරාධ කිරීමට පොලඹවන විසම වු සමාජ ආර්ථික දේශපාලන හේතුසාධක දීග නිකායේ අග්ගඤ්ඤ සුත්‍රය කූඨදන්ත සූත්‍රය හා චක්කවත්ති සීහනාද සූත්‍ර මඟින් පැහැදිලි කර තිබෙනවා. එසේ මිනිස් සිතේ හටගන්නා වු ලොභ, ද්වේෂ, මෝහ යන අඳුරු වලාපටල නිසාද මිනිසා වැරදි කිරීමට පෙලඹෙන බව අප බුදුරජාණන් වහන්සේ ලොව පැහැදිලි කළා.

පින්වත, ඔබ අතින් තවත් සිදුවූ පාපකර්මය ගැන සිත සිතා පසුතැවිලි වෙමින් නැවත නැවත පවෙහි ගැලී නොසිට මම අද පටන් මා අතින් සිදුවන වැරදි නොකරමියි අධිෂ්ඨාන කොට වැරදි නොකොට යහපත් වැඩම කිරීමට උත්සාහ දරන්න. කළ අකුසල් කුසල්වලින් වසා දමන්න. “කුසලෙන පිථියති” බබුළුවමින් දිවි ගෙවා උතුම් වු නිවන් සැප සාදා ගැනීමට හැකි වෙනවා.

සියලුදෙනාට තෙරුවන් සරණයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා