මානව හිමිකම් සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් 99ක්

මානව හිමිකම් සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් 99ක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කාලීන විශ්ව සමාලෝචන සැසියේදී අදහස් දැක්වීම සඳහා ලෝකයේ රටවල් 99 ක් දැනටමත් ඉදිරිපත් වී සිටින බව රජය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම මෙන්ම ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන පියවර ආදිය සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනය කෙරෙන අතර එහිදී රටවල් විශාල ප්‍රමාණයක් ‍ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා "දිනමිණ" ට පැවසීය.

මෙහිදී එල්ලවන ඕනෑම අභියෝගයකට සාර්ථකව ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව පැවසූ ඒ මහතා ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් සාක්කි සහිතව පිළිතුරු සපයන බවද ඒ ඒ රටවල ඉල්ලීම් කෙරෙහි සළකා බලන බවද සඳහන් කළේය.

මේ සමාලෝචනයේදී සෑම රටකටම අදහස් දැක්වීමේ අවස්ථාව සැළසෙන අතර එය ඉතාම සීමිත කාලයක් සඳහා වෙන්වන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සමාලෝචනය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සලයේදී එළඹෙන පළමුවැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේ දක්වා ලබා තිබෙන ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග මෙන්ම අනාගත සැළසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා සහභාගි වන වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා විසින් සැසිවාරය ඇමැතීමෙන් අනතුරුව සෙසු පාර්ශවයන් සඳහා යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැළසෙන බවද එහිදී පිළිතුරු සැපයීමේ වාරයක් ශ්‍රී ලංකාවට ලැබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

‍අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටි ලක්ෂ තුනකට ආසන්න පිරිසක් නැවත පදිංචි කිරීම, හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම, ප්‍රතිසංධානය, යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ජීවනෝපාය ශක්තිමත් කිරීම මෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම ආදිය සම්බන්ධයෙන් වන වචන 10,700 කින් සමන්විත වාර්තාවක්ද ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා ඉන්දියාව, ස්පාඤ්ඤය හා බෙනින් රාජ්‍යයෙන් සමන්විත මණ්ඩලයක් පත්කර තිබෙන අතර එහිදී ඔවුන් විසින් වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා