ලක්ෂ 50ක හෙරොයින් සමඟ කෝටිපති පච්ච සංඛ අත්අඩංගුවට

ලක්ෂ 50ක හෙරොයින් සමඟ කෝටිපති පච්ච සංඛ අත්අඩංගුවට

යතුරුපැදි 20කින් පැමිණි ගෝලයෝ විශේෂ බළකා රථය වටලලා

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිිටි රාජගිරියේ කෝටිපති කුඩු ව්‍යාපාරික පච්ච සංඛ නැමැත්තා රුපියල් ලක්ෂ පනහක හෙරොයින් තොගයක්ද සමඟ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මොහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ ගෝලයන් විසින් යතුරුපැදි විස්සකින් පමණ පැමිණ විශේෂ කාර්ය බළකා රථය වැටලූ බව එම බළකාය පවසයි.

ව්‍යාපාරිකයන් ලෙස වෙස් වලාගෙන පැමිණි විශේෂ කාර්ය බළකා නිලධාරින්ට විකිණීමට ගෙන ආ හෙරොයින් තොගයත් සමඟ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ යතුරුපැදිකරුවන් පැන ගිය බව එම බළකාය පවසයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයට පෙනී සිටින මේ සැකකරු මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවන්නකු බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරු අනුව එහි නිලධාරින් කිහිපදෙනෙකු ව්‍යාපාරිකයන් ලෙස දුරකථනය මගින් කථාකර මොහුගෙන් හෙරොයින් ඉල්ලා තිබේ.

මේ අනුව ඉකුත් 26 දින දවස පුරා තැනින් තැනට එන ලෙස කොළඹ ස්ථාන ගණනාවකටම ගෙන්වා රස්තියාදු කර සැකකරු නොපැමිණ 27 නැවත එන ලෙස ව්‍යාපාරික වෙස් ගත් අයට දැනුම් දී ඇත.

එදින කොටිකාවත්ත සුපිරි වෙළෙඳසලක් අභියසට ප්‍රාඩෝ රථයකින් ගිය ව්‍යාපාරිකයන් ලෙස වෙස්ගත් ආවේශණ නිලධාරින්ව මොහුගේ ගෝලයන් විසින් වට කර තිබේ. හෙරොයින් රැගෙන ගිය සැකකරු ගෝලයන්ගේ රැකවල් මැද රථයට නැග මුදල් ඉල්ලා ඇති අතර සැඟවී සිටි අවි දැරූ නිලධාරින් දුරස්ථ පාලක මගින් රථයේ දොරගුළු දමා ළංවන විට යතුරුපැදිකරුවන් පලාගිය බව එම බළකාය දිනමිණට කීය.

ප්‍රධාන සැකකරු වන රාජගිරිය මාදින්නාගොඩ පච්ච සංඛ නොහොත් ඩී. එම්. අයි. පෙරේරා කුඩු තොගය සමඟ එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අධික වටිනාකමකින් යුත් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් ග්‍රෑම් 600 ක් හා මිලි ග්‍රෑම් 05 ක් මොහු ළඟ තිබී ඇත.

මේ වැටලීම විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන සාගර කුලසේකර, සම්පත් කුමාර හා උප පොලිස් පරීක්ෂක රාජකරුණා යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් විසින් කර තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මත්ද්‍රව්‍ය තොගය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා