මුද්‍රණය සඳහා

 
පාසල් 460ක් සංවර්ධනයට රජයෙන් රුපියල් ලක්ෂ 2123ක්

අඩුපාඩු සහිත

පාසල් 460ක් සංවර්ධනයට රජයෙන් රුපියල් ලක්ෂ 2123ක්

දිගු කාලයක් නිසි අවධානයක් යොමු නොවූ අඩුපාඩු සහිත පාසල් 460ක කඩිනම් සංවර්ධනයක් ඇති කිරීමට රජය රුපියල් ලක්‍ෂ 2123ක මුදලක් ලබාදීමට තීරණය කොට ඇත.

ඒ අනුව ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ මහින්දෝදය වැඩපිළිවෙළට මේ වසරේ තෝරා ගැනුණු පාසල් 401 කට පාසලකට රුපියල් ලක්‍ෂ පහ බැගින් රුපියල් ලක්‍ෂ 2005ක මුදලක් ද, මේ වසරේ මෙතෙක් කිසිඳු මුදලක් රජයෙන් නොලැබුණු පාසල් 59 කට එකකට රුපියල් ලක්‍ෂ දෙක බැඟින් ලක්‍ෂ 118 ක් ලබන සතියේ ලබා දෙනු ඇත.

බිඳ වැටීමට ආසන්න හෝ දිගු කලක් නිසි අලුත්වැඩියා කිරීමක් නොකළ පාසල් ගොඩනැඟිලිවල අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හා වෙනත් ඉතාම අවශ්‍ය පොදු සම්පත් ගොඩනැඟීම මේ මුදල යොදා ගෙන ඉටු කර ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කෙළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික පාසල් 14 හි භෞතික හා මානව සම්පත් සංවර්ධනයට කුමනාකාර ක්‍රියාමාර්ග, තීන්දු තීරණ ගන්නේ දැයි සහ ගත යුතු දැයි එම විද්‍යාලවල විදුහල්පතිවරුන් හා අධ්‍යාපන අංශ බලධාරීන් එකට එක්ව සාකච්ඡා කිරීමේ හමුවේ දී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කෙළේ ය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ගේ ප්‍රධානත්වයෙන් මේ හමුව ඉකුත් 26 වැනිදා රුවන්වැල්ල ජාතික පාසලේ දී පැවැත්විණි.

මහින්දෝදය පාසල් 401 කට මුදල් ලබා දෙනුයේ ලෝක බැංකු ආධාර මත රජයට ලැබුණු මුදලිනි. මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් යොදාගෙන අන් පාසල් 59 ට මුදලින් රුපියල් ලක්‍ෂ 2ක බැගින් වහාම ලබාදීමට ක්‍රියා කළ බව ගෝඨාභය ජයරත්න මහතා කීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ දැක්ම දැනුම කේන්ද්‍රයීය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමයි. ඒ අරමුණු ජය ගැනීමට දේශපාලන නායකත්වයේ, අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ සියලු දෙනාගේ මඟ පෙන්වීම් ලැබෙනවා. මේ මුදල් නිසි ලෙස පාසලේ දියුණුවට යොදා ගෙන වඩාත් ඉහළ ප්‍රතිඵල හා සදාචාර සම්පන්න දරු පිරිසක් බිහි කර ගන්න මහන්සි වෙන්න යැයි ලේකම්වරයා ඉල්ලා සිටියේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]