පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි ගොනුව බැගින් හදනවා

පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි ගොනුව බැගින් හදනවා

සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත වීමෙන් පසු සෑම පළාත් පාලන මන්ත්‍රීවරයකු සම්බන්ධව පුද්ගලික ලිපි ගොනුවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවද එම පුද්ගලික ලිපි ගොනුවේ එම මන්ත්‍රීවරයාගේ සියලු තොරතුරු අන්තර්ගත කිරීමට පියවර ගන්නා බවද ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (27) පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ පනත දැන් සම්මත වී තිබෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මුළු ලංකාවේම ඉන්න සියලුුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එක මන්ත්‍රීවරයෙකුට එක බැගින් පුද්ගලික ලිපි ගොනුවක් පවත්වාගෙන යනවා. පුද්ගලික ලිපි ගොනුවේ එම මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සහතික, දේශපාලන තනතුරු, පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ කවදා ද ඔහුට විරුද්ධව පැමිණිලි හෝ විනය පරීක්ෂණ තිබුණා නම් ඒ පිළිබඳ තොරතුරු ඔහුගේ ක්‍රියාකාරීත්වය පක්ෂයේ වැඩවලට ඇති උනන්දුව වැනි සියලු කරුණු එම පුද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කරනවා.

මැතිවරණයකින් ජයග්‍රහණය කරපුවා ම අපි ඒ තොරතුරුත් සොයා බලනවා. ඔහුගේ ඉතිහාසය කොහොමද පක්ෂයට අවනත ද විනයගරුක ද හික්මීමකින් වැඩ කරලා තියෙනවා ද පක්ෂයේ ගරුත්වයත් පක්ෂ නායකත්වයේ ගරුත්වයත් කෙලෙසා තිබෙනවා ද නම්බුකාර විදිහට සමාජයේ ජීවත් වී තිබෙනවා ද කියන කරුණු සියල්ලම අපි ඔවුන්ට තනතුරු ලබාදීමේදී සොයා බලනවා.

සංවිධායකවරයාට මේ සඳහා බලතල තිබෙනවා වගේම පක්ෂය විදිහට පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කමිටුවක් පත්කර ඒ කමිටුව මඟින් අදාළ මන්ත්‍රීවරයාගේ ඉතිහාසය සොයා බලා ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නවක දේශපාලනඥයෙක් දේශපාලනයට එන විට හොඳට ඉගෙනගන්න ඕන. අත්දැකීම් ලබන්නට ඕන. ඒ පරිණතභාවයත් එක්ක තමයි හොඳ දේශපාලන අනාගතයක් තියෙන්නේ. මිනිස්සුන්ට ආදරය කරනවා කියන්නේ ඔවුන්ගේ කරට අත දාගෙන නටන එකට නොවෙයි. මානුෂිය හැඟීම් තියෙන්න ඕන හදවතේ. මේ දේශපාලන සාරධර්ම නැති කළේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඇති කරපු අනුපාත ඡන්ද ක්‍රමය නිසයි.

ජේ. ආර්. මහත්තයා රටට කරපු හදිහූනියම් සියල්ලම කපා අවසන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ජේ. ආර්. මහත්තයාගේ අවසාන හූනියමත් කපා අවසන් කරලා නැවතත් කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පවත්වන්න තීරණය කළේ සල්ලි බලයෙන්, මැර බලයෙන් ඡන්ද දිනාගෙන පාර්ලිමේන්තුවට එන අයට වැඩිය ප්‍රතිපත්තියක් තිබෙන දර්ශනයක් තිබෙන පුද්ගලයින්ට අවස්ථාව ලබාදීම සඳහා බවද අමාත්‍යවරයා මෙම ජනහමුවේදී ප්‍රකාශ කළේය.

කොට්ඨාස මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට මෙම ජනහමුව පොළොන්නරුව ධවල මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා