ඔස්ට්‍රේලියාවෙන් පිටමං කළ ශ්‍රී ලාංකිකයන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතට

ඔස්ට්‍රේලියාවෙන් පිටමං කළ ශ්‍රී ලාංකිකයන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතට

කුඩාවැල්ල මුහුදු තීරයේදී පැහැර ගැනීමට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 14 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාරදී තිබේ.

මේ ශ්‍රී ලාංකිකයන් පිරිස ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවට පෙරේදා (27) රැගෙනවිත් තිබෙන අතර එහිදී ආගමන හා විගමන නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක්වීමෙන් අනතුරුව මෙලෙස විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත බාරදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

කොකෝස් දිවයිනේ සිට මේ පිරිස ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර පිරිමි 10 ක්, කාන්තාවක් සහ ළමයින් තිදෙනෙකු ඊට අයත් වෙති.

පසුගිය 14 දා තංගල්ල, කුඩාවැල්ල මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටවගිය තේජාන් නැමැති ට්‍රෝලර් යාත්‍රාව වෙනත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්ව තිබෙන අතර එම පැහැර ගැනීමට පුද්ගලයන් 14 දෙනෙකු සම්බන්ධ බවට අනාවරණයකර ගත්තේය.

තේජාන් යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව සිටි අතර තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගන්නා ලදී. කෙසේ වුවද පැහැර ගැනීමට ලක්වූ යාත්‍රාව සම්බන්ධයෙන් අන්තර් ජාතික පොලීසිය මඟින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ වරෙන්තු පිටපත් අන්තර් ජාතික පොලීසිය හරහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය වෙත බාරදීමට පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ ආගමන විගමන ආරක්ෂක අංශවලින් වි‍ශාල සහයෝගයක් ලැබී තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පෙන්වාදෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා