අතවරයන්ට බාලවයස්කරුවන් රැගෙන එන්නන් නවාතැන් ගන්නා හෝටල් වටලන විශේෂ පියවර

අතවරයන්ට බාලවයස්කරුවන් රැගෙන එන්නන් නවාතැන් ගන්නා හෝටල් වටලන විශේෂ පියවර

අපචාර සඳහා බාලවයස්කරුවන් රැගෙන පැමිණෙන පුද්ගලයින්ට නවාතැන් සපයන හෝටල් වැටලීමේ විශේෂ වැඩපිළිවෙළක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.

ඉකුත් 26 වැනි දා සිට නව වැටලීම් මාලාව ආරම්භ කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ උසස් නිලධාරියෙක් දිනමිණ ට ඊයේ (28) සඳහන් කළේය.

දීප ව්‍යාප්තව මේ වැටලීම් සිදු කරන අතර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සති අන්තයේ වැටලීම් සිදු කර ඇත.

ඇතැම් හෝටල් හිමිකරුවන් ලිංගික කටයුතු සඳහා බාලවයස්කරුවන් රැගෙන එනපුද්ගලයින්ට වැඩි මුදලකට කාමර අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවට තොරතුරු අනාවරණ වී තිබෙන නිසා මේ පියවර ගත් බව හෙතෙම පැවැසීය.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්ට අනුබල දෙන හෝටල් හිමිකරුවන්, කළමනාකරුවන් මෙන්ම හෝටල්වල සේවකයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කීය.

අධිකාරියේ විශේෂ පොලිස් විමර්ෂන ඒකකයේ පොලිස් ස්ථානාධිපති බාලචන්ද්‍රන් මහතා සහ පොලිස් පරීක්ෂක බෝපිටිගොඩ මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදු කරනු ලබයි.

මේ අතර පසුගිය කාලයේ හෝටල් හා නවාතැන්වලදී බාලවයස්කරුවන් රැසක් අපයෝජනයට ලක් වූ බවට තොරතුරු ලැබි ඇති අතර තොරතුරු දන්නා පුද්ගලයින් වෙතොත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා