‘රඹ පොකුණ’ බිමේ ගොඩනැඟිලි ඉදි කළැයි නුවරගම් පළාත් ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවේ

‘රඹ පොකුණ’ බිමේ ගොඩනැඟිලි ඉදි කළැයි නුවරගම් පළාත් ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවේ

අමිල ප්‍රභාත් වනසිංහ සහ අනුරාධපුර මධ්‍යම විශේෂ

පුරාවිද්‍යා වටිනාකමින් යුත් පෙරමියන්කුලම ඉපැරණි ‘රඹ පොකුණ’ පිහිටි භූමිය ගොඩකර ස්ථිර ගොඩනැගිලි ඉදි කළ බවට චෝදනා ලැබ සිටි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ වර්තමාන මන්ත්‍රීවරයකු අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (27) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

මේ මන්ත්‍රීවරයා විසින් පෙරමියන්කුලම අශෝක විද්‍යාලය ඉදිරිපිට  පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා භූමියක් ලෙස සැලකෙන පුරාණ රඹ පොකුණ ගොඩකර ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් හෝටලයක් හා සිමෙන්ති ගල්වැඩපොළක් ඉදි කර ඇතැයි චෝදනා ලැබ සිටී.

කොළඹ පුරාවිද්‍යා ආරක්ෂණ විමර්ශන ඒකකය කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (27) සවස අනුරාධපුර නගරයේ මාකට් පෙදෙසේදී මේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් 2012.08.12 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ‘බී’ වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබු අතර ඒ අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි. එසේම මේ සඳහා බලපත්‍ර ඇති නම් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබුණි.

ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන වලට අනවසරයෙන් ඇතුල්වීම පුරාවිද්‍යා වස්තූන් වලට හානි සිදු කිරීම ගොඩනැගිලි ඉදි කිරීම වැනි චෝදනා මත මේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ් උපදෙස් මත වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු පො.සැ. (57765) විමලසිරි, පො.කො. (18555) රත්නායක, පො.කො. (65151) නිශ්ශංක, පො.කො. (28198) පෙරේරා, පො.කො. (62688) පරාක්‍රම යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.33

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා