ඒකාබද්ධ ගිවිසුම අස්සන් කිරීමට මහින්දානන්ද-බන්දුල මැකාවෝ යති

2017 ආසියා යොවුන් ක්‍රීඩා උලෙළ - හම්බන්තොට

ඒකාබද්ධ ගිවිසුම අස්සන් කිරීමට මහින්දානන්ද-බන්දුල මැකාවෝ යති

හම්බන්තොට කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට අදාළ ගිවිසුම අස්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස නොවැම්බර් 7දා මැකාවෝ බලා පිටත්වෙයි. වසර 2017දී පැවැත්වීමට නියමිත මේ ක්‍රීඩා උලෙළේ කමිටු සභාපති ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සම සභාපති ලෙස අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කොට ඇත. සංවිධාන කමිටු සභාපති ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නම් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන මෙහි ගිවිසුම් අස්සන් කිරීම, නොවැම්බර් 8 දා මැකාවෝ හීදී ආසියානු කොංග්‍රස් මණ්ඩල විශේෂ සභා රැස්වීමකදී සිදුකෙරෙන අතර එහි ප්‍රධානත්වය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරනු ලබන අතර, ආසියානු ඔලිම්පික් කමිටු සභාපති හා කුවේට් ඔලිම්පික් කමිටුවේ සභාපති ෂේක් අහමඩ් අල්ෆහඩ් අල්-සබා කුමරු සමග ක්‍රීඩා උලෙ‍ළේ ගිවිසුම් අස්සන් කිරීම සිදු කෙරේ.

ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ ක්‍රියාකාරී කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි, සංචාරක මණ්ඩලයේ නියෝජිතයෙකු හා ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයෙකු ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටිති‍.

රටවල් 45ක සහභාගිත්වයෙන් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගිවන මෙම ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශ කළේ පසුගිය ජුනි මාසයේ කොළඹට පැමිණි ආසියානු ඔලිම්පික් කමිටු සභාපති ෂේක් අහමඩ් අල්ෆහඩ් අල්සබා කුමරු විසිනි.

ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවැසුවේ ත්‍රස්තවාදය නිමාවීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට ඕනෑම අභියෝගයක් භාර ගැනීමේ හැකියාව ඇති බැවින් මේ ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය පිරිනැමීට පසුබට නොවන බවයි.

ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ පමණක් නොව ආසියානු බීච් ක්‍රීඩා උලෙළද අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඒ මහතා පැවැසීය.

හම්බන්තොටදී පැවැත්වෙන්නේ 3වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ වන අතර 2009දී පළමුවැන්න සිංගප්පූරුවේ පැවැති අතර දෙවැන්න ලබන වසරේ චීනයේ නැන්ජින් හිදී පැවැත්වේ.

ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළට පෙර වසර 2016දී දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ හම්බන්තොට ක්‍රීඩා ගම්මානය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට බලාපොරොත්තු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා