මුද්‍රණය සඳහා

 
හැමදා නියං එක දා වැහි වළාවේ

හැමදා නියං එක දා වැහි වළාවේ

කාලගුණය ඉතා දරුණු ලෙස පහර දෙන්නට පටන්ගෙන තිබේ. එය ලෝකයට ම පොදු බව පෙනී යයි. ලෝක පොලිස්කාරයා ලෙසින් ප්‍රකට බලවත් අමෙරිකාව ඔස්සේ සැන්ඩි කුණාටුව හමා යයි. ප්‍රාන්ත එකොළහක වැඩ නැවතී ඇත. බලවත් ම වෙළෙඳ නගරය වූ නිව්යෝක්හි ලෝක ගනුදෙනු ඇණහිට තිබේ. එහි කාර්යාල හා බැංකු වසා ඇත. නිව්යෝක් කොටස් වෙළෙඳ පොළ මුළුමනින් ම කඩා වැටී ඇත. අමෙරිකාවේ ජනාධිපතිවරණයට ද කාලගුණය බලපා තිබේ. අමෙරිකන් ජනතාව ජීවිතාරක්ෂාව පතා විවිධ තැන්වලට මාරුවෙමින් සිටිති. ලෝකයේ බලවත් ම රාජ්‍යයට පවා කාලගුණය හරස්වෙත්දී අප ගැන කියනුම කවරේද? එහෙත් අප ඒ අතින් සාර්ථක ය.

2004 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට සුනාමිය කඩාවදිනවිට එයින් ආරක්ෂා විය හැකි කිසිදු උපායමාර්ගයක් අප දැන සිටියේ නැත. සුනාමි එනවා යැයි කියූ විට එය පිළිගැනීමට කටුනායක ගුවන්තොටට සමහරුන් ගියහ’යි විහිළු කතා පැතිරිණි. සුනාමිය යන වචනය පවා අපට ආගන්තුක විය. සුනාමියක දී මුහුදේ හැසිරීම නොදත් අපේ අය එහි ආශ්චර්යය නැරඹීමට ගොස් මරු තුරුලට ගියහ. සුනාමියෙන් ශශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයෙහි විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ එදාය. අද තත්ත්වය මුළුමනින් ම වෙනස් ය.

ශ්‍රී ලංකාව ඕනෑම කාලගුණ විපර්යාසයකට මුහුණදීම සඳහා සූදානමින් සිටී. පෙරේදා වන විට බෙංගාල බොක්කේ වායු පීඩනය නරක විය. මෝසම් අන්තරය හෙවත් අන්තර් මෝසම ද පැමිණ තිබිණි. එය ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ලද්දේ වස්සාන කාලය ලෙස ය. වස්සාන කාලය මාස තුනක් පවතී. එම කාලය තුළ භික්ෂූන් වහන්සේ විහාරයෙහි වැඩ සිටිති. අවශ්‍ය ප්‍රත්‍යෝපකාර ගිහියන් විසින් කළ යුතුව තිබේ. ඉනික්බිති කඨින මහෝත්සවය පැවැත්වේ. එය අපගේ ආගමික හා සංස්කෘතික උරුමයකි.

ශ්‍රී ලංකාව කාලගුණ විපර්යාසවලට නියම ලෙසින් මුහුණ දෙන්නට පටන් ගත්තේ 2004න් පසුව ය. එහිලා ප්‍රධාන රාජ්‍ය තීන්දු ගණනාවක් ක්‍රියාත්මක වේ. එකක් නම් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් හා ඊට අදාළ අමාත්‍යාංශයක් ද පත් කිරීම ය. ඊළඟ වැදගත් ම පියවර වන්නේ කාලගුණ විපර්යාස පිළිබඳ තොරතුරු දනවන විද්‍යාත්මක පද්ධතියක් ඇති කිරීමය. හෙට සුනාමියක් කඩා වදින්නට පෙර අද දවස තුළ ඒ තොරතුර ;හවත් පණිවිඩය දෙන්නට ශ්‍රී ලංකාව සමත් ය.

කාලගුණය යනු පුදුමාකාර සංකීර්ණ ප්‍රපංචයෙකි. නැතහොත් සිදුවීමෙකි. වඩාත් වැදගත් වන්නේ එය නිවැරැදිව වටහා ගැනීම ය. ජපානයේ කාලගුණය හරියට ජපන් ස්ත්‍රියගේ සිත වගේ යැයි මහාචාර්ය සරච්චන්ද්‍ර සිය නවකතාවක සඳහන් කර තිබේ. එතුමාගේ මනමේ නාට්‍යයෙන් ද සනාථ වන්නේ ස්ත්‍රිය චපල බව ය. කාලගුණය ද එසේම ය. ඊට ප්‍රතිපත්තියක් නැත. නියාමනයක් හෝ අදහසක් හෝ නැත. හිටිහැටියේ කඩාවදින්නට පුළුවන. රුදුරු වන්නට පුළුවන. මන්දගාමී වන්නට ද පුළුවන. මේ සියල්ල ඒකරාශී විය යුත්තේ මිනිසාගේ පැවැත්ම සඳහා ය. එහි අර්ථය වන්නේ කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන උපාය මාර්ග මිනිසා විසින් සම්පාදනය කරන ලද බව ය. කළයුතු බවය.

ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මීට දින දෙකකට පෙර ය. ඒ සමඟම ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව නිවාස හා නායයෑම් පිළිබඳ අනතුරු හැඟවීම් කළේ ය. අවසානයේ පෙරේදා රූපවාහිනියෙන් විකාශය වූයේ නැඟෙනහිර වෙරළ තීරය අවදානම් සහගත බව ය. යාපනය දක්වාම එය අවදානම් සහගත බව ප්‍රවෘත්ති මගින් විකාශය කරන ලදී. වෙරළේ සිට මීටර් පන්සියයක් ගොඩබිමට වන්නට අදාළ ප්‍රදේශයේ සියලු පදිංචිකරුවන් අන්තරායදායක ප්‍රදේශවලින් ඉවත් කැරිණි. ඒ ගැන අපි සතුටු වෙමු.

ශ්‍රී ලංකාවේ නැඟෙනහිරට හා උතුරට හමා එමින් තිබූ සුළි කුණාටුව පෙරේදා මධ්‍යම රාත්‍රියේදී සිය ගමන් මඟ වෙනස් කොට ඉන්දියාව දෙසට පියාඹන්නට පටන් ගත්තේ ය. විශාල විනාශයක් අපෙන් මඟ හැරිනි. එහි අර්ථය වන්නේ අසල්වැසි ඉන්දියාව විනාශ වේවා යන්න නොවේ. ඉන්දියාව යනු විශාල භූගෝලීය කලාපයෙකි. බෙංගාල බොක්කේ වායු පීඩන ප්‍රශ්නයේ පළමු විඳවන්නා ඉන්දියාව ය. දැනට බෙංගාල බොක්ක යම් නිහඬතාවක් දක්වා තිබේ. එහෙත් ඊළඟ පැයේ දී එය වෙනස් විය හැකි ය. කුමක් වුව ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් නැතැ’යි සතුටු විය හැකි ය.

ලෝකය අද අවදියෙන් බලා සිටිය යුත්තේ හා නිරීක්ෂණය කළ යුත්තේ හෙට දවසේ පාරිසරික විනාශයන් නො වන හා මිනිසාට හිතකර වටපිටාවක් තනන පසුබිමක් කෙසේ සැලැසුම් කළ යුතු ද යන ප්‍රශ්නය ඉදිරියේ ය. ලෝක මට්ටමෙන් ඊට විවිධ විසැඳුම් තිබේ. සමරහක් අපට ගැළපෙයි. සමහරක් අපට නො ගැළපෙයි. එහෙත් අපට ගමනක් තිබේ. රටට ගමනක් තිබේ. ජනතාවට ගමනක් තිබේ. අනාගත පරපුරට සිහින තිබේ. මේ සියල්ල සමෝධනය කරන පිළිවෙතක් අපට තිබිය යුතු ය. එසේ නැතහොත් එවැන්නක් නිරීක්ෂණය කළ යුතු ය. සැලසුම් කළ යුතු ය. අවසාන ප්‍රතිඵලය විය යුත්තේ ස්වාභාවික ව්‍යසනවලට ඔරොත්තු දෙන සමාජයෙකි.

ස්වාභාවික විපර්යාසවලට ඔරොත්තු දිය හැකි හා ඊට පූර්ව විනිශ්චයක් දිය හැකි ක්‍රමවේද හා තාක්ෂණික සැලැසුම් අප ළඟ තිබේ. ඒ බව සනාථ වන්නේ මෙවර කාලගුණික විපර්යාසයෙන් බරපතළ හානියක් අපට සිදුවී නැති නිසාය. මිනිසා යනු දියුණු සත්වයෙකි. ඔහුගේ ප්‍රවර්ධනය සඳහා ස්වාභාව ධර්මයට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ය. මේ ප්‍රතිචාර තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති, විචාරකයන්ගේ මතවාද, ගැටුම් කළමනාකරණය හා තවත් බොහෝදේ තිබිය හැකි ය. කුමක් වුව අප පරදින්නේ නැත. ඉලක්කය තිබේ. දක්ෂ දුනුවායෙක් ද සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]