විපක්ෂයේ ජනතාවාදය; රෙද්ද පල්ලෙන් බේරෙනවා!

විපක්ෂයේ ජනතාවාදය; රෙද්ද පල්ලෙන් බේරෙනවා!

රංජිත් සියඹලාපිටිය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති

දුප්පත්කම දුරුකොට, රටේ සංවර්ධනයක් ඇතිකිරීමට විශාල දිරියක් ලබා දෙන දිවි නැඟුම පනත ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉදිරිපත් වූ වඩාත්ම ජනතාවාදී පනත යැයි ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දිවි නැඟුම පනත ජනතාවට බලපාන ආකාරය පිළිබද කළ සංවාඳයකි මේ.

* දිවි නැඟුම පනතේ ආරම්භය ගැන කතා කරමින් අපි ඉදිරියට ගියොත් හොඳයි. කොහොමද? එය සිදු වුණේ?

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වසර 2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයට එදා අගමැතිවරයා ලෙස ඉදිරිපත් වුණා. එදා එතුමා “මහින්ද චින්තනය” ඉදිරිපත් කළා. ඊට පස්සේ 2010 ජනවාරි 26 වැනිදා නැවත වතාවක් එතුමා ජනාධිපතිවරණයට මුහුණ දුන්නා. එදා එතුමා “මහින්ද චින්තන ඉදිරි දැක්ම” ජනතාව හමුවේ තැබුවා.

මේ අවස්ථා දෙකේදී ම වාගේ ම 2012 වසරේ අයවැය වාර්තාවෙනුත් එතුමා කිව්වේ, සමෘද්ධි ව්‍යාපාරය වඩාත් සුරක්‍ෂිත කොට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවයි. ඊට ආර්ථික සංවර්ධන ඇමැතිතුමා බැසිල් රාජපක්‍ෂ මැතිතුමා වැඩි දායකත්වයක් ලබා දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෙටුම්පත් කළේ.

* සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යනවා කියන්නේ කුමක් ද?

සමෘද්ධි ව්‍යාපාරය අපේ රටේ ක්‍රියාත්මක වන්නේ 1995 අංක 30 දරන ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරි පනතෙන් ලබා දුන් බලතලවලට අනුවයි. ඒ බලතලවලට වඩා නෛතික භාවයෙන් වැඩි වැඩසටහනක් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු රටේ සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි.

* සමෘද්ධි බැංකුවල මූල්‍ය පාලනය පිළිබඳව වඩාත් වැඩි අවධානයක් මේ පනතින් රජය බලාපොරොත්තු වෙනවා ද?

නිවාර්යයෙන් ම ඔව් දැනට ක්‍රියාත්මක සමෘද්ධි බැංකුවල මූල්‍ය පාලනය, අලුතින් බැංකු පිහිටුවීම යනාදියට වඩා ශක්තිමත් නීතිරීති රාමුවක් නව පනතින් හඳුන්වා දී තිබෙනවා. මේ පනතේ ඉතා හොඳින් බොහෝම පැහැදිලිව සඳහන් කර තිබෙනවා, බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ, නියෝජිතයෝ ඇතුළත් වෙනවා. මීට පෙර එවැනි නියෝජනයක් මෙහි තිබුණේ නැහැ. මේ නිසා මේ මුදල් පරිපාලනය, කළමනාකරණය ගැන වඩාත් සොයා බලන්න පුළුවන්කම ලැබෙනවා.

* නව පනතින් සමෘද්ධි බැංකුවල හා සමෘද්ධි සංගම්වල අරමුදල් විෂය භාර ඇමැතිතුමාට ඕනෑ ඕනෑ විදිහට පරිහරණය කරන්නට ඉඩක් ලැබෙනවාද?

කොහොමත්ම නැහැ. ඇත්තට ම සමෘද්ධි බැංකුවල, සමිතිවල මුදල් කිසිම විටෙක විෂය භාර ඇමැතිවරයාට ඕනෑ ඕනෑ විදිහට පාලනය කරන්න බැහැ. ඊට ඉඩ දීමක් මෙයින් සිදුවන්නේ ම නැහැ. ජනතාවගේ මුදල් ගසාකන්නට හැකි වෙනවා කියා බොරු, දුෂ්ට චෝදනා නඟමින් විපක්‍ෂය මේ ජනතාවාදී පනත ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරනවා. පනතින් සිදුවන්නේ රටේ පොදු ජනතාවගේ යහපත උදා වීමයි. ඊට එරෙහිවීම අද විපක්‍ෂයේ කාර්යභාරය වෙලා. මේ පනත ගෙන එන විට තදින්ම කලබල වෙලා ඉන්නේ සැබෑ ජනතා හිතවාදී පිරිස් නොව, ජනතාවගේ දුක, කඳුළ වෙනුවෙන් බොරුවට කඳුළු හෙළන ඊනියා දුක්ගන්නාරාළලායි.

* විපක්‍ෂය මේ පනතට මෙතරම් විරුද්ධ ඇයි?

මේ පනතින් ඇත්තටම සිදුවන්නේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරි තුනයි. සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවයි, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවයි යන ආයතන පහ ඒකාබද්ධ වීමයි. ඉන් ඒවායේ සේවය කළ සේවකයින්ට රජයේ විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා අවස්ථාව උදා වෙනවා. ප්‍රතිලාභීන් ලක්‍ෂ 16 කට 18 කට සෙත ලැබෙනවා.

එකම සමෘද්ධි ප්‍රතිලාභියෙකුගේවත් හිමිකම් අහිමි වන්නේ නැහැ. ප්‍රතිලාභ කපන්නේ නෑ. ඒවාගේමයි සමෘද්ධි නිලධාරියාගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වෙනවා. මෙවන් සුබවාදී අනාගතයක් රටේ පොදු ජනතාවට අත්වන විට ගමේ ගිහින් දේශපාලනය කරන්න තමන්ට පිරිස් නැතිවෙයි කියලා විපක්‍ෂය අද හොඳටෝම බයවෙලා. ගමට ගිහින් ජනතාව දිනාගන්න බැරි බංකොළොත් දේශපාලන පක්‍ෂවල පිරිස් මේ ජනතාවාදී පනත ගෙන එන එක වැළැක්වීමට අභූත චෝදනා නඟනවා. ඉන් පැහැදිලියි මේ අයට කොතරම් නම් පීඩනයක් දැනිලාද? කියලා.

මෙතැන හරි අපූරු වැඩක් සිදුවෙනවා.

* පනතට විරුද්ධ වන අය කරන අපූර්ව වැඩ මොනවාද?

එදා “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙළේ 121 වැනි පිටුවේ තිබුණේ සමෘද්ධි නියාමකයින් 24000 ක් දෙනා හා කළමනාකරුවන් 15000 ක් ‍ෙදනා හා ප්‍රතිලාභීන් අඩු කිරීමක් කරනවා කියලයි. එසේ කී එක්සත් ජාතික පක්‍ෂය අද මේ දිවි නැඟුම පනතට විරුද්ධ වෙනවා මේ පනත හරහා පිහිටුවන දෙපාර්තමේන්තුව මඟින් රාජ්‍ය සේවයට 27000 ක් දෙනා එක්වීම දරාගන්න බැරිව. ඒවාගේම එදා දරිද්‍රතාවය සියයට 25 – 28 මට්ටමේ තිබුණේ.

අද සියයට 8 අඩුවෙලා. මේ දේ දරාගන්න බැරිව මේ පනතට විරුද්ධ වීම අපට නම් ප්‍රහේළිකාවක්. මේ අය ජනතාවාදී පිරිස් ද කියා වේලාවකට සිතෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ පනතට විරුද්ධ වෙන්නේ රටේ අඩුපාඩුකම් ඇති ජනතාව ඉන් ඉවත් වීම මේ පනතින් සිදුවන නිසයි. මේ පනතින් බලගැන්වෙන්නේ රටේ දුප්පත් ජනතාවයි. දුප්පත් ජනතාව බලගැන්වෙන්නේ දියුණු වෙන්නයි. ජනතාව දියුණු ආර්ථික, සාමාජීය මට්ටමක් අත්කර ගන්නා විට ජ. වි. පෙරමුණට පැවැත්මක් නැහැ. ඔවුන් ඒ නිසා මේ පනතට බයයි.

* ආණ්ඩුව මෙවන් පනතක් ගෙන ඒමට මෙතරම් වෙහෙස වන්නේ ඇයි?

අපි ජනතාවාදී ආණ්ඩුවක්. ජනතාවාදී ආණ්ඩුවක වගකීම ජනතාවට යහපත උදා කිරීමයි. අපි ඒ සඳහා මේ පනත පමණක් නොව ඕනෑම පනතක් ගෙන ඒමට සූදානම්. අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක්. අපිට ඕනෑ නම් මේ පනත හදිසි පනතක් ලෙස ගේන්න පුළුවන්කම තිබ්බා. නමුත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට අපි මේ පනත ගෙන ඒමට තරම් නිහතමානී වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ක්‍රියා කළා.

* මේ පනත හරහා රටේ, ගමේ දැනට ක්‍රියාත්මක ඇතැම් ප්‍රජා මූල සංවිධානවලට පැවැත්මක් නැති වෙනවාද?

නැහැ. එහෙම වෙන්නේ නෑ. අදටත් අපේ රටේ ඈත පිටිසර ගම්වල පහසුකම් නංවන්න ඇතැම් ප්‍රජා මූල සංවිධාන ක්‍රියාත්මක වෙනවා. මේවායින් සේවයක් වෙනවා. මේ නිසා මෙම සේවා කිසිම ආකාරයකින් නතර කිරීමට නව පනතින් සිදුවන්නේ නෑ. මේ කවුරුත් ඉතා හොඳින් බලගැන්වීමක් ඇතිව ජනතාවට සේවය කරන්නට කටයුතු කරන්න ඕනෑ කියන හඬ ගමේ ඇතිවෙනවා. ජනතාවට සේවය කරන ආයතනවල පහසුකම් පවා නව දෙපාර්තමේන්තුව සමඟ කතාබහ කොට ලබාගත හැකියි.

* වසර 2013 සඳහා ඉදිරිපත් කරන අයවැයේ හැඩරුව කොහොමද?

තිරසාර සංවර්ධනයකට මඟපාදන යෝජනා මේ අයවැයේ තිබෙනවා. ජනාධිපතිතුමා ජනතාවට ලෙන්ගතු නායකයෙක්. ජනතාවගේ ආදරය දිනූ නායකයෙක්. එතුමා නායකත්වය දරන ආණ්ඩුවෙන් ජනතාවට සහන ලැබෙනවා කියා අමුතුවෙන් කියන්නට උවමනාවක් නැහැ. කොතරම් අර්බුද, පීඩන ආවත් කෙටි කාලීන, මැදි කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන යෝජනා රැසක් සහිත අයවැය අටක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා.

එදා බලයට ආ මුල්ම අවස්ථාවේ රටේ අයවැයක් ඉදිරිපත් කරලා තිබ්බේ. ඒ අයවැය වෙනුවට බලයට ආ පළමු දිනයෙන් පස්සේ අලුත් අයවැයක් අතිගරු ජනාධිපතිතුමා ගෙනාවා. ඒ තමන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට වසරක් බලා ඉන්නට පුළුවන්කම තිබෙද්දීයි. ජනතාවට සහන දෙන්න පැකිලෙන්නේ නැති නායකයෙක් යටතේ අයවැයෙන් අනිවාර්යයෙන්ම ජනතාවට සහන ලබා දෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා