|
||||
අමෙරිකාවේ සැන්ඩි සුළි කුණාටුවෙන් මිලියන 50කට බලපෑම්බිහිසුණු සැන්ඩි සුළි කුණාටුව පැයට කි. මී. 150 වේගයෙන් අමෙරිකාවේ නැඟෙනහිර වෙරළ ඔස්සේ නිව්ජර්සි ප්රදේශය හරහා සඳුදා කඩා වැදුණු අතර ඒ සමඟම ධාරානිපාත වැසි සහ අඩි තුනක තරම් ඝන දැඩි හිම පතනයක් ද ඇතිවී තිබේ. මේ හේතුවෙන් සඳුදා ගුවන් ගමන් වාර 1500ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇත. අඟහරුවාදා ගුවන් වාර 5269ක්ද, බදාදාට නියමිත ගුවන් වාර 487ක්ද අත්හිටුවා ඇත. මේ නිසා ව්යාපාරික ප්රජාව මෙන්ම සංචාරකයන් ඇතුළු මගීන් දැඩි අසීරුතාවට පත්වී ඇතැයි වාර්තා වේ. මෙය ආසියාවට මෙන්ම යුරෝපයට ද බලපෑම් එල්ල කිරීමට හේතුවී ඇත. නිව්යෝක්, පිලඩෙල්පියා, වොෂිංටන් ආදී ප්රදේශවල දුම්රිය බස්රිය ගමනාගමනය ද සම්පූර්ණයෙන් පාහේ අඩාළ වී තිබේ. නිව්යෝර්ක් හි විදුලි බලාගාරයක් ද පුපුරායාමෙන් මෑන්හැටන් ප්රදේශයේ 250000ක් පමණත් නිව්යෝර්ක් නගරයේ නිවාස 500000 ක් පමණත් අඳුරේ ගිලී ගොස් ඇත. පාසල් මෙන්ම ව්යාපාරික ස්ථාන ද වසා දමා ඇත. අමෙරිකා කොටස් වෙළෙඳපොළ පවා වසා දැමීමට සිදුවී තිබේ. හඩ්සන් ගංඟාව ඇතුළු ගංඟා කිහිපයක් ද පිටාර ගලා ඇත. සැඩසුළං පහරින් දැවැන්ත දොඹකරයක් ද කඩා වැටී තිබේ. මෙතෙක් වාර්තා වී ඇත්තේ මෑන්හැටන් හි සිදුවූ එක් මරණයක් පමණි. නිවාසවල කොටුවී සිටින අය බේරා ගැනීමට සහන සේවකයෝ යුහුසුළුව කටයුතු කරමින් සිටිති. මේ සඳහා ජාතික ආරක්ෂක බළකායේ 2100ක් පමණ යොදවා ඇත. කුණාටුවේ බලපෑම දරුණුම අන්දමින් බලපෑ ප්රදේශවල හදිසි නීතිය පනවා තිබිණි.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |