පොපි මල් සැමරුම හෙට සිට

පොපි මල් සැමරුම හෙට සිට

ඔබේත් අපේත් අනාගතය සුරැකීම සඳහා ජීවිත කැපකළ රණවිරුවන් අනුස්මරණය කරන පොපිමල් දින සන්නද්ධ සේවා සැමරුම හෙට (01) ආරම්භ වෙයි.

පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී දිවිදුන් විරුවන් සැමරීමට ලොව පුරා මෙය ආරම්භ වුවත් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් දිවිදුන් ආදරණීය විරුවන් සැමරීම මූලික කරගනිමින්මෙරටදී මේ සැමරුම පැවැත්වෙන බව සන්නද්ධ සේවා සැමරුම් උත්සව හා පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහතා පවසයි.

සේවා මුක්ත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සිදුකිරීමට මුදල් රැස්කිරිම සඳහා මේ දිනවල අලෙවිකරණ පොපි මලක් හෝ මල් කලඹක් මිලදීගෙන ඊට දායක වන ලෙස හෙතෙම ඉල්ලීමක් කරයි.

ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදී කරුණාරත්න මහතා එම අදහස් පල කළේය. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් පවත්වාගෙන යන "ප්‍රවීණ රණවිරු නිවාසය" සංවර්ධනය කිරිම සඳහා මේ වසරේදී පමණක් රුපියල් මිලියන දොලහක මුදලක් යොදවා ඇත.

සේවා මුක්ත විරුවන්ට වෛද්‍යාධාර ද පොපි මල් ව්‍යාපාරයෙන් උපයන මුදලින් ලබා දෙන අතර එම පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාරද පිරිනමන බව ඔහු පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අරළියගහ මන්දිරයේදී ඉකුත් 27දා පොපි මලක් පළඳා මේ වසරේ පොපිමල් ව්‍යාපෘතිය අරඹන ලදී.

අනූ එක්වෙනි සන්නද්ධ සේවා සැමරුම හා පොපි මල් සැමරුම මේ වසරට යෙදී ඇති අතර එහි ප්‍රධාන උළෙල නොවැම්බර් 11වන ඉරු දින උදේ නවයට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති සන්නද්ධ සේවා යුද සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්වෙයි.

සර්ව ආගමික පිළිවෙත් සිදුකර ආරම්භ කෙරෙන මේ උත්සවයේදී ලෝක සංග්‍රාමයේදී මියගිය සහ තිස්වසකට අධික කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදයෙන් රට රැක ගැනීමට දිවිදුන් රණවිරුවන් සමරා ත්‍රිවිධ හමුදා උත්තමාචාර පුදකරයි.

දැයෙන් සමුගත් සියලු විරුවන් සමරා එහිදී ඔවුන් ගේ පවුල්වල ළඟම ඥාතීන් ආරාධිත අමුත්තන් හා එක්ව යුද ස්මාරකය අභියස මල්කළඹ පුදයි. ත්‍රිවිධ හමුදා තූර්ය වාදන මධ්‍යයේ ත්‍රිවිධ හමුදා පෙළපාලියක්ද පවත්වා ප්‍රණාම පුදකිරීමට නියමිත බව කරුණාරත්න මහතා සඳහන් කළේය.

ශ්‍රි ලංකා සේවා මුක්ත භට සංගමය මේ කටයුතු සංවිධානය කර ඇත.එහි සභාපති කපිතාන් පැට්‍රික් ජයසිංහ, ලේකම් බ්‍රිගේඩියර් කේ.ඒ.ඥානවීර සහ එහි මාධ්‍ය හා ප්‍රචාරක කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජේ.පී.ඒ.ජයවර්ධන මහත්වරුද හමුවේදී අදහස් දැක්වීය. සේවා මුක්ත පුවත් පලකරමින් සේවා මුක්ත විරුවන් වෙනුවෙන් සිදුකරන මෙහෙයට දිනමිණ සහ ‍ඩේලිවනිවුස් පුවත්පත්වලට හමුවේදි ස්තුති කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා