ධාරානිපාත වර්ෂාවෙන් 17,000ක් පීඩාවට

ධාරානිපාත වර්ෂාවෙන් 17,000ක් පීඩාවට

ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක පවුල් 4500ක පුද්ගලයන් 17,000ක් පීඩාවට පත්ව පවුල් 1500ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ, මුලතිව්, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල, නුවර, කොළඹ, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහා මෙම වැසි හා සුළං තත්ත්වය බලපා ඇත.

ඒ හේතුවෙන් පුද්ගලයන් 15ක් අතුරුදන්ව ඇති අතර විපතට පත්වූවන් කඳවුරු 13ක තාවකාලිකව පදිංචිකැර ඇත. එම කඳවුරුවල පවුල් 557ක පුද්ගලයන් 2258ක් සිටින බවත් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් මහතා දිනමිණට පැවසීය.

පීඩාවට පත්ව ඇති අය අතර වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවෙන අතර එහි පුද්ගලයන් 15152ක පවුල් 3453ක් වෙතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය. සම්පූර්ණයෙන් හානිවූ නිවාස 13ක් වන බවත් අර්ධහානි නිවාස 29ක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 450ක පුද්ගලයන් 1504ක්ද එම දිස්ත්‍රික්කයේ කඳවුරු 6ක පවුල් 252 පුද්ගලයින් 789ක්ද නුවරඑළිය පවුල් 11ක පුද්ගලයින් 48ක්ද කෑගල්ල පවුලක පුද්ගලයින් 05ක්ද කුරුණෑගල පවුල් 03ක පුද්ගලයින් 19ක්ද නුවර, උඩුදුම්බර, අකුරන හා ගඟවටකෝරළේ පවුල් 52ක පුද්ගලයන් 274ක්ද කොළඹ රත්මලාන පවුල් 9ක පුද්ගලයන් 48ක්ද ත්‍රිකුණාමලය තඹලගමුව පවුල් 49ක පුද්ගලයින් 235ද කින්යා පවුල් 87ක පුද්ගලයින් 326ක්ද වෙරුගල් පවුල් 5ක පුද්ගලයින් 15ක්ද මුතූර් පවුල් 92ක පුද්ගලයින් 418ක්ද ත්‍රිකුණාමල නගරයේ පවුල් 245ක පුද්ගලයින් 951ක්ද මන්නාරම පවුල් 469ක පුද්ගලයින් 1836 වශයෙන් පීඩාවට පත්ව ඇත.

මුලතිව් වැව පිටාර ගැලීම නිසා පවුල් 1000ක් පීඩාවට පත්ව ඇත. මේ දින කිහිපයේ පැවැති ධාරානිපාත වර්ෂාවත් සමඟ මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග අවහිරවී ඇති අතර විදුලි කණු දුරකථන කණු කඩා වැටීම් මෙන්ම ගල්, පස්කඳු කඩාවැටීම් රැසක්ද වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.

ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට හා වන්දි ලබාදීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කැර ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයෙත් පසුගිය දින දෙක තුළදී සුළඟ සහිත දැඩි වර්ෂාව හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිත අඩාළව ඇත.

නැවත පදිංචි කළ ජනතාව වෙසෙන වෙල්ලාවලි, කොක්කොඩිචෙලෙයි ඇතුළු ප්‍රදේශද වර්ෂාවෙන් හානියට පත්ව ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා