‘නීති රඟ 2012’ට නඩු

‘නීති රඟ 2012’ට නඩු

“නීති රඟ 2012” කලා ප්‍රසංගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥයෝ රැසක් ඊයේ (30) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවරූහ.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා හා එම සංගමයේ නිලධාරී මණ්ඩලය, විධායක කමිටුව නීති රඟ අනු කමිටුවේ සභාපතිනි ප්‍රියානි පෙරේරා නීතිඥවරිය ඇතුළු 37 දෙනකුට එරෙහිව මේ නඩුව පැවරිණි.

නීති රඟ 2012 ලබන 26 දින නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී විත්තිකාර ප්‍රියානි පෙරේරා නීතිඥවරිය හිතුවක්කාරී ලෙස හා අත්තනෝමතිකව කටයුතු කර ඇති බවත් එම ක්‍රියා හේතුවෙන් කලා කුසලතාවයෙන් හෙබි රටපුරා විසිරී සිටින නීතිඥවරුන්ට මහත් අගතියක් වන බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

යිටස් පද්මසිරි මහතා ඇතුළු නීතිඥවරු දහතුන් දෙනෙක් මේ නඩුව පැවරූහ. කලා කුසලතාවයෙන් හෙබි පැමිණිලිකාර නීතිඥවරුන් මේ කරුණු සම්බන්ධනේ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට පැමිණිලි කළ නමුත් එම සංගමය එම පෙත්සම මහ සභා රැස්වීමේදී සලකා බලා නොමැති බවත්, නීති රඟ අනු කමිටුවේ සාමාජිකයින් සිදු කරන නීති විරෝධී ක්‍රියා තහනම් කරන ලෙසත් නඩුවේ අවසන් තීන්දුවක් ලබා දෙනතෙක් පෙත්සම වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

රැළපනාව නීතිඥ සමාගම මගින් පවරා ඇති මේ නඩුව අද (31) කැඳවීමට නියමිතය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා