ආපදාවකදී පිහිටට ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය අංශ සූදානමින්

ආපදාවකදී පිහිටට ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය අංශ සූදානමින්

ශ්‍රී ලංකාවේ කුමන ස්ථානයක හෝ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දෙන ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා දිනමිණට ඊයේ (30) පැවැසීය.

ගුවන් හමුදාව විසින් ගුවන් යානා සූදානම් කර ඇති අතර නාවික හමුදාව විසින් රට අභ්‍යන්තරව ඇති ජලාශ ආශ්‍රිතවද කුඩා යාත්‍රා ස්ථානගත කර තිබේ.

තද සුළං සහ වර්ෂාව පවතින දිස්ත්‍රික්කවල පිහිටි හමුදා කඳවුරුවල යුද හමුදා ඒකක මේ වන විට ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා සූදානම් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර හදිසි ආපදා අවස්ථාවක් පැමිණියහොත් ඉන් හානි සිදු වන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය ඖෂධ රෝහල් පද්ධතිය තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගංවතුර, නාය යෑම්, සුළිසුළං යනාදී හදිසි ආපදා අවස්ථාවලින් රෝගී වන ජනතාවට ලබාදිය යුතු ප්‍රතිජීවක ඖෂධ රට පුරා රෝහල් පද්ධතිය තුළ සහ වෛද්‍ය සැපයීම් අංශය සතු වන බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

පවතින වර්ෂාවත් සමඟ අපිරිසිදු වන ජලය පිරිසිදු කර මහජනතාවට සැපයීම සඳහා අවශ්‍ය ක්ලෝරීන් ද වෛද්‍ය සැපයීම් අංශ‍ය සතුව තිබේ. ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් මහජනතාව බීමට ගන්නා ජලය අපිරිසිදු විය හැක.

පුද්ගලයා පාරිභෝජනයට ගන්නා ජලය සහ ආහාර අපිරිසිදු වීමෙන් පාචනය, කොළරාව, සෙංගමාලය යනාදී බෝ වන රෝග ඉහළ යාමේ අවදානමක් පවතියි.

උණ, සෙම්ප්‍රතිශ්‍යයාව රෝග ද බහුල වීමේ අවදානමක් පවතින අතර රෝගීන්ට ලබාදීම සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය සතු වන බව වෛද්‍ය ජයසිංහ මහතා කීය.

වැසි සහිත කාලගුණයත් සමඟ රෝගීන් බහුලව වාර්තා විය හැකි බවත් රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදී ඔවුන් සුවපත් කිරීමට රෝහල් පද්ධතිය සූදානම් බවත් ඔහු පැවැසුවේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා