ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි

ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ ජාතික මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) සිදු කෙරිණි.

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ අරමුණින් මෙය සම්පාදනය කර තිබෙන අතර වැඩකළ හැකි වයසේ පසුවන ශ්‍රී ලාංකිකයන් ගෝලීය වශයෙන් තරඟකාරී බහු නිපුණතාවෙන් සමන්විත නිදහස්, සමානතාව, සුරක්ෂිතතාව හා මානුෂීය ගෞරවයක් ඇති වාතාවරණයකදී වැඩි ආදායමක් ලබා ගන්නා ඵලදායී සේවයක් වියයුතු බවට මෙමඟින් හඳුන්වාදී තිබෙන අතර එය ජ්‍යෙෂ්ඨ අමාත්‍යාශ ලේකම් කාර්යාලය මඟින් සම්පාදනයකර තිබේ.

ආර්තික සංවර්ධනය සමඟ සමාජ සාධාරණත්වය ඉටුකිරීම මෙයින් අදහස් කෙරෙන අතර රැකියා ප්‍රවර්ධනය, සේවක අයිතීන් ලබාදීම, සමාජ රැකවරණය සහ සමාජ කතිකාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට පූර්ණ, ඵලදායී, නිදහස් රැකියාවන් ලබා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, ගෝලීය තරඟකාරිත්වයේදී ඉතාම ප්‍රවීණ වුත්, බහු කුසලතාවන්ගෙන් සමන්විත ඵලදායී ශ්‍රම හමුදාවක් බිහි කිරීම, විවිධ ක්ෂේත්‍රයන් හා කලාපයන්හි වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම හා ජීවන මට්ටම ඉහළ නැංවීම, සේවකයන් දිශාගත කිරීම හා ඵලදායිතාව උපරිම කිරීම සඳහා කිසිඳු විෂමතාවයකින් තොරව සෑම සේවකයෙකුටම තමාට සුදුසුම රැකියාවේ නියුක්තවීමට පූර්ණ ඉඩකඩ ලබාදීම සහ ජාතික කම්කරු නීති හා ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් හා අභිලාෂයන් සුරැකීම මෙම මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කෙරේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේකර මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ වෙත මෙහිදී පිළිගන්වන ලදී. මේ ප්‍රතිපත්තිය මඟින් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර තිබෙන අතර ගෞරවාන්විත රැකියා, රැකියා ප්‍රවර්ධනය, රැකියා අයිතීන් මෙන්ම සමාජ ආරක්ෂණය සහ සමාජ සංවාදයක් ඇති කිරීම ඒ අතර වෙයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මානව සම්පත් සහ රැකියා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීම සඳහා වසර දෙකක් තුළ ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදී තිබෙන අතර ස්කීර්ණ රැකියා ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ඩීව් ගුණසේකර, රත්නසිරි වික්‍රමනායක, මහාචාර්ය තිස්ස විතාරණ, අතාවුද සෙනෙවිරත්න, පී.දයාරත්න, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහපෙරුම, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත නිවාඩ් කබ්රාල්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ඩොන්ග්ලින් ලී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා