නීලම් සුළි කුණාටුව ඉන්දියාව දෙසට

නීලම් සුළි කුණාටුව ඉන්දියාව දෙසට

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි නීලම් සුළි කුණාටුව ඊයේ (30) ඊසානදිගින් දිවයිනෙන් බැහැරව ඉන්දියාව දෙසට ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එහෙත් ශ්‍රී ලංකාවට අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව ද උතුර, මන්නාරම, යාපනය, මුලතිව් යන දිස්ත්‍රික්කවල නිරන්තර තද වැසි හා සුළං තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ නිසා එම මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනට උතුරින් හා ඊශාන දෙසින් වන මුහුදු ප්‍රදේශවලද සුළං දිවයිනට ඊශාන දෙසින් හමන බවත් සෙසු මුහුදු ප්‍රදේශවල බටහිර හෝ නිරිත දෙසින් හමන බවත් එහි වේගය පැයට කිලෝමීටර් 30 - 40 වන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

උතුරු ඊශාන හා නැෙඟනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යාහැකි යැයිද එම දෙපාර්තම්න්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැඟෙනහිර වෙරළේ පැයට කිලෝමීටර් 100 - 200 අතර ඉහළ සුළං වේගයක් පවතිනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (30) වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයටය. මිලිමීටර් 182.5කි. මඩකලපුවට මිලිමීටර් 127.5 ක්ද පලුගස්දමන මිලිමීටර් 120.00 කළුතරට මිලිමීටර් 115.7ක් ද අවම වර්ෂාපතනය බලංගොඩ ප්‍රදේශයටය. එය මිලිමීටර් 2.2 කි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා