මැණික් ගැරීමෙන්  කන්තලේ වැව් බැම්ම අනාරක්ෂිත තත්ත්වයේ

මැණික් ගැරීමෙන්  කන්තලේ වැව් බැම්ම අනාරක්ෂිත තත්ත්වයේ

පවුල් විශාල ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබන කන්තලේ වැව ආශ්‍රිතව ජනතාව මැණික් ගැරීම නිසා වැව් බැම්ම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් බණ්ඩාර මහතා පවසයි.

ධාරානිපාත වර්ෂාවත් සමඟ වැව් බැම්ම දක්වා මැණික් ගසාගෙන ඒමත් සමඟ විශාල ජනතාවක් මැණික් ගැරීමට පැමිණෙන අතර මේ හේතුවෙන් වැව ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි.

කන්තලේ වැවේ මැණික් ඉල්ලම ස්වභාවික සම්පතක් වුවද පවුල් දහසකට සෙත සලසන වැව හා වැව් බැම්ම කඩා බිඳ නොදමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ඒ මහතා, යම් හෙයකින් වැව් බැම්මට හානි පැමිණුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසයි.

මැණික් ගැරීමේ චේතනාවෙන් වැව් බැම්ම කඩා දැමුවහොත් සිදු වන හානිය ගණනය කළ නොහැකි බවත් ඒ මහතා ජනතාවට අනතුරු අඟවයි. කන්තලේ වැව අවට ප්‍රදේශය අනවසර මැණික් ගරන්නන්ගේ අඩවියක් බවට පත්ව තිබූ බව සිහිපත් කරන හෙතෙම, හදිසියේ මතු වූ මේ මැණික් ඉල්ලම හේතුවෙන් ජනතාව නොඉවසිලිමත්ව ඇති බව ද ඒ මහතා පවසයි.

මෙවැනි පෞරාණික වැවක් ආරක්ෂා කර ගැනීම ජාතියේ අවශ්‍යතාවයක් බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් "දිනමිණ" ට පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා