සැකකාර සිරිපාල වැලිකඩට

කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය

සැකකාර සිරිපාල වැලිකඩට

මවක හා දියණියක ඝාතනය කළ කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වන ආවාරිගේ සිරිපාල නොවැම්බර් 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ 30 නියෝග කළාය.

මේ ද්විත්ව ඝාතනය සම්බන්ධව සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන සිටිති. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් තිදෙනකු කුරුවිට බන්ධනාගාරයේද ඒ. සිරිපාල නැමැත්තා පමණක් වැලිකඩ බන්ධනාගාරයේද රැඳවීමට නියෝග කර ඇත.

ආවාරිගේ සිරිපාල නැමැත්තා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහසිගත පාපෝච්චාරණයක් සිදුකළේ ඉකුත් 4 වනදා ය. මහේස්ත්‍රාත්වරියගේ නියමයෙන් එම සැකකරු මේ ද්විත්ව ඝාතනයේ අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර රඳවා තබා තිබේ.

සිරිපාල රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වන අතර, අනෙක් සැකකරුවන් තිදෙනා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටිති. ලබන 5 වනදා මේ ද්විත්ව ඝාතනයේ සෙසු සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය ගැන වැඩිදුර කරුණු එදින අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයා ඊයේ (30) අධිකරණයට පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා