ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ජාතික උලෙළ හෙට සිට සුගතදාස ක්‍රීඩා පිටියේදී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ජාතික උලෙළ හෙට සිට සුගතදාස ක්‍රීඩා පිටියේදී

මලල ක්‍රීඩා ජාතික උලෙළ ලෙස හැදින්වෙන 90 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට සිට නොවැම්බර් 3දා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන මේ තරගාවලිය ඔවුන්ගේ දක්ෂතාවන් ඇගයීමට ලක්කරන විශේෂ අවස්ථාවක් සේ සලකනු ලබයි.

ලබන වසරේ පැවැත්වෙන ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි රැසකට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලබන ජයග්‍රහණ වඩාත් වැදගත් වන හෙයින් මෙහි තරගකාරිත්වයද වැඩිවේ.

ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට හා ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ජාතික ශූරතාවලියේදී දක්වන දක්ෂතා නිර්ණායක ලෙස යොදා ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට තරග ඉසව් 44ක් ඇතුළත්වන අතර ඇවිදීම, සත් ප්‍රයාම හා දස ප්‍රයාම ඉසව්ද මෙවර ඇතුළත්වීම කැපී පෙනේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික ප්‍රමාණයක් සහභාගීවන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට විනිශ්චයකරුවන් හා තාක්ෂණික නිලධාරීහූ 150ක් පමණ සහභාගී වෙති.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එක්වන අතර ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතය. ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ලංකා බැංකුව අනුග්‍රහය දක්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතුවලට හා අනෙක් පහසුකම්වලටද එම ආයතනයේ අනුග්‍රහය හිමි වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා