මුද්‍රණය සඳහා

 
විස්සයි විස්ස වැස්සට සේදෙයි

විස්සයි විස්ස වැස්සට සේදෙයි

ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 තරගය විටින් විට ඇද හැළුනු වර්ෂාව මධ්‍යයේ අහෝසි කෙරිණි.

වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් පිලකට ඕවර 14 බැගින් සීමා වූ තරගයේ නවසිලන්තය ලකුණු 74ක් ලබා ගත්තද ඩක්වර්ත්/ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලැබුනේ ලකුණු 72ක ජයග්‍රාහී ඉලක්කයකි. මෙය හඹා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 2කදී කිසිවෙකු නොදැවී ලකුණු 6ක් රැස්කර ගෙන සිටියදී පස්වරු 10.22 ට යළි වැසි පතිත වීම නිසා තරගය ඇන හිටිණි.

ඒ වන විට ඩිල්ෂාන් මුණවීර ලකුණු 4ක්ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 2ක්ද ලබා ගෙන සිටියහ. කාසියේ වාසිය දිනා ගත් නව නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවිය යුතු යැයි තීරණය කළ අතර තරගය පස්වරු 7.45 ට ආරම්භ විය. නායකයා හා උප නායක නුවන් කුලසේකර පන්දු ප්‍රහාරය ඇරැඹූහ.

නුවන් කුලසේකර
ඡායාරූපය-කමල් ජයමාන්න

මැතිව්ස් යැවූ තරගයේ අරම්භක ඕවරය නොඉඳුල් එකක් විය. දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ටොම් ලේතම්, කුලසේකර ට එරෙහිව හතරේ පහරක් එල්ල කළද ඊළඟ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය.

පළමු ඕවර 5 අවසන් වන විට නවසිලන්ත කඩුලු 2ක් ලකුණු 13කට බිඳ වැටී තිබිණි. දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ වේගයෙන් ලකුණු රැස් කිරීමට සමතෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් ය. ඒ කඩුල්ල ලබා ගත්තේ ද නුවන් කුලසේකර ය. බ්‍රෙන්ඩන්ගේ පිත්තෙන් ඉහළ නැගි පන්දුව තිසර පෙරේරා ‘මිඩ් ඕන්’හි සිට පන්දු යවන්නාගේ සීමාව වෙත දිව එමින් රැක ගත්තේය. පන්දු 10කට මුහුණ දුන් බ්‍රෙන්ඩන් ලබා ගත්තේ එක් ලකුණක් පමණි.

ශමින්ද එරංග හා තිසර පෙරේරා ඊයේ ඔවුන් යැවූ පළමු ඕවරවලදීම කඩුලු ලබා ගැනීමට සමත් වූහ. එරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් ආරම්භක පිතිකරු රොබ් නිකොල් (1) මුළු ලකුණු 15 දී දැවී ගිය අතර තිසරගේ පන්දුවට කඩුලු රකින කුමාර් සංගක්කාර වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් (2) මුළු ලකුණු 18දී දැවී ගියේය. නායක රොස් ටේලර් 9 වැනි ඕවරයේදී දැවී ගියේය.

පන්දු 10කට මුහුණ දුන් ඔහු, තිසරගේ පන්දුවකට ‘සංගා’ ට උඩ පන්දුවක් දෙමින් ලකුණු 4කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 24ක් විය.  පස්වරු 8.30 ට මහ වැසි පතිත වන විට නවසිලන්තයේ කඩුලු 5ක් ඕවර 8යි පන්දු 4ක් ඇතුළත මුළු ලකුණු 24කට බිඳ වැටී තිබිණි. ඒ වන විට බී.ජේ.වැට්ලිං ලකුණු 5ක්ද, ඇන්ඩෲ එලිස් ලකුණු ලබා ගැනීම ආරම්භ නොකර ද සිටියහ.  තරගය පස්වරු 9.45 ට යළි ආරම්භ වූයේ පිලකට ඕවර 14 බැගින් සීමා කෙරෙමිණි.

ඒ අනුව තරගයේ මිනිත්තු 75ක් අහිමි වී තිබුණු අතර ඕවර 6ක් අඩුකර තිබිණි. දවසේ පළමු දඟ පන්දු යවන්නා වූ අකිල ධනංජය ඔහුගේ තෙවැනි පන්දුවෙන් වැට්ලිංගේ කඩුල්ල ලබා ගත්තේය. ‘ෂෝට් ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් දෙමින් වැට්ලිං (8) මුළු ලකුණු 28දී දැවී ගියේය. ඕවර 10ක් අවසන් වන විට නවසිලන්ත පිලේ කඩුලු 6ක් ලකුණු 34කට බිඳ වැටී තිබිණි.

එලිස් හා ජේකබ් ඕරම් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක් රැස් කරමින් සිටියදී එලිස්, අකිල ධනංජයගේ පන්දුවකට ‘ඩීප් මිඩ් විකට්’හි ලහිරු තිරිමාන්න වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. හතරේ පහරක් හා හයේ පහරක් එල්ල කළ එලිස් පන්දු 10කින් ලකුණු 16ක් ලබා ගත්තේය. ඕරම් හා ටිම් සවුතී නවසිලන්ත මුළු ලකුණු ප්‍රමාණය 51 සිට 74 දක්වා ගෙන එමින් සිටියදී ඔවුන්ගේ ඕවර 14 අවසන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථක පන්දු යවන්නා වෙමින් අකිල ධනංජය ඕවර 2ක් ඇතුළත ලකුණු 9කට කඩුලු 2ක් ලබා ගත්තේය. කුලසේකර ලකුණු 12කට කඩුලු 2ක්ද, තිසර පෙරේරා ලකුණු 22කට කඩුලු 2ක්ද ලබා ගත්හ. පසුගිය දින කිහිපය තිස්සේ ම මහනුවර ට මහ වැසි පතිත වෙමින් තිබිණි. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයද පාළු බවක් ඉසිලීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]