ඇසෑමයේ බෝම්බ පිපිරුමක්

ඇසෑමයේ බෝම්බ පිපිරුමක්

ඉන්දියාවේ ගැටුම්කාරී ඊසාන දිග ඇසෑම් ප්‍රදේශයේදි එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දස හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා ඇත. මෙම අනතුර සිදුවි ඇත්තේ ජනාකීර්ණ වෙළඳ සංකිරණයක් අසලදී සටන්කාමියකු විසින් ග්‍රෙනේඩයක් පුපුරුවා හැරීමෙන් ‍බව ඉන්දිය පොලිසිය පවසයි.

යතුරු පැදියක ගමන් ගත් දෙදෙනකු විසින් ග්‍රෙනේඩය දමා ගැසු බව සඳහන් වේ. මේ සිද්ධිය සිදුවි ඇත්තේ ඇසෑම්හි අගනුවර වූ ග්වාහාටි නගරයට කිමි 71 පමණ උතුරින් පිහිටි උඩල් ගිරි නම් කුඩා නගරයකදියි.

මෙම ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවකු බාරගෙන නැත. කෙසේවෙතත් නිදහස් නිජබිමක් වෙනුවෙන් සටන් වදින ඇසෑමයේ ගෝත්‍රික සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ .පසුගිය දශක දෙක තුළ ත්‍රස්තවාදි ප්‍රහාර හේතුවෙන් මේ ප්‍රදේශයේ මිය ගිය සංඛ්‍යාව 10 000 කට අධික බව වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා