ඔබාමා හා රොම්නි ඡන්ද ප්‍රචාර නවතයි

ඔබාමා හා රොම්නි ඡන්ද ප්‍රචාර නවතයි

චණ්ඩ මාරුතයට බිලි වූවන්ට සහන සැලසීමට මුල්තැන දී

අමෙරිකානු ජනාධිපතිවරණයට සතියක කාලයක් තිබියදී එරට කැළැඹූ බිහිසුණු චණ්ඩ මාරුතය හේතුවෙන් සිදුවී ඇති ආර්ථික හානිය ඩොලර් බිලියන 20කට ආසන්නව ඇති බව පැවසෙන අතර ජනාධිපති බැරැක් ඔබාමා හා ප්‍රතිවාදි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මිට් රොම්නි ප්‍රචාරක ව්‍යාපාර නවතා දමා විපතට පත්වූවන්ට සහන සැලසීමට මුල් තැන දී තිබේ.

මේ අතර සැන්ඩි සුළු කුණාටුව හේතුකොට ගෙන විපතට පත්වූවන්ගෙන් එරට 911 දරන හදිසි ආපදා ඇමැතුම් ඒකකයට ඊයේ දහවල් වන විට පැය භාගයකට ඇමැතුම් 10,000ක ප්‍රමාණයක් පමණ ගලා ඒමට පටන්ගෙන ඇතිබවද වාර්තා වේ. මේ අතර අත්‍යවශ්‍ය අවස්ථා සඳහා පමණක් ප්‍රතිචාර දක්වන බව නිවේදනය කළ දුරකථන ඇමතුම් අංක 911 දරන ආපදා සේවය විදුලි බලය ඇනහිටීම පිළිබඳ 911 ඔස්සේ එන පැමිණිලි භාර නොගන්නා බවද නිවේදනය කළේය.

විදුලි බලාගාරයක් පුපුරා යෑමෙන් නිව්යෝර්ක් හා මෑන්හැටන් නගරවල නිවාස ලක්ෂ පහකට පමණ විදුලි සැපැයුම් නතර වී තිබේ. විදුලිබලය නැතිවීම නිසා රෝහලක් වසා දැමුණු අතර එහි සිටි රෝගීන් 200ක් පමණ වෙනත් ස්ථානයකට යැවුණි. තවත් පිරිසක් වතුරට කොටුවී සිටිති. 13 දෙනකු මිය ගොස් ඇති අතර අඩි තුනක පමණ ඝන හිම තට්ටුවක් කඩා වැටී ඇති බවද පැවැසේ.

පාසල් වසා දැමුණි. මුහුදු ජලය ඊස්ට් හා හඩ්සන් ගංගා ඔස්සේ ඉවුරු බිඳගෙන රට තුළට ඇතුළුවීම නිසා මංමාවත් හා දුම්රිය මාර්ග හා උමං මාර්ග ජලයෙන් වැසී ප්‍රවාහන කටයුතු නැවතුණි. බ්‍රෑත්ලිග්හි ස්ටැලිස් හා කොනි දූපත්වල සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා ඉදිරිපත්වන ලෙස බෝට්ටු හිමියන්ගෙන් රජය අයැද සිටියේය. ගසක් කඩා වැටීම නිසා නිව්යෝර්ක් නගරයේ එක් පුද්ගලයකු මිය ගිය අතර තවත් නගර කිහිපයකින් මරණ හතරක් වාර්තාවී තිබුණි.

නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අවටද ජලයෙන් යටවී තිබුණි. රථ වාහන රැසක් ජලයේ ගසා ගෙන ගියේය. සමහර රථ වාහන ගොඩනැගිලි කඩා වැටීම නිසා සුන්බුන් වලට යටවී තිබුණි. විදුලි උත්පාදනාගාරයක් පුපුරා යාමෙන් සිදුවූ හානිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා සතියකට ආසන්න කාලයක් ගතවනු ඇති බවද බලධාරීහු මේ අතර නිවේදනය කළහ. ආරක්ෂිත ස්ථානයන් කරා යන ලෙසට නිව්යෝර්ක් නගරාධිපතිවරයා කළ බැගෑපත් ඉල්ලීම් නොසලකා හැරි ‘අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි’ 375000 පමණ පිරිසකගෙන් බහුතර දස දහස් ගණනක් මේ අතර අසීරුතාවට ලක්ව ඇති බවද පැවැසේ.

ඊස්ට් නදිය සැඩ රැලි නංවමින්.

ජලයෙන් යට වූ උමං මාර්ගයක්.

කඩා වැටුණු ගොඩනැගිල්ලක්.

ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්වු පාසලක රැකවරණ ලබන පිරිසක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා