මහදවත ඔබට දෙමි! දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

මහදවත ඔබට දෙමි!

මීට වසර කිහිපයකට පෙර මහව කෝච්චියේ වූ සිදුවීමක් අප සිහියට නැඟේ. පැහැදිලි ඉර අව්ව සහිත දීප්තිමත් දිනයක් ආරම්භ වී තිබිණි. මහව කාර්යාලයීය දුම්රිය කෙත්වතු මැද්දෙන් සිය සුපුරුදු ගමන ගියේ ය. එහි ගමන් කරනුයේ හැමදා ම එකට මුණගැසෙන කාර්යාලයීය මිතුරු - මිතුරියන් ය. ඒ අතර ගම්පහ ප්‍රදේශයෙන් දුම්රියට ගොඩවූයේ අත් - වාරුවක් ද සහිත ආබාධිත රණවිරුවෙකි. ඔහු මහත් අපහසුවෙන් සෙනඟ අතරින් ඉදිරියට ගොස් ඉඩ සහිත අසුනක කොනක අසුන් ගත්තේ කෝච්චියේ පැද්දිල්ල ඔහුට ඔරොත්තු නොදෙන බැවිනි. එහෙත් එම ආසනයේ සිටි ගැහැනුන් හා පිරිමින් ඔහුට කාරුණික වූයේ නැත.

පිරිස තල්ලුවක් දමා රණවිරුවා අසුනෙන් නෙරපූහ. එතැනින් නොනැවතී ඔහු අපහාසයට ලක් කළහ. රණවිරුවා ශෝකයෙන් යුතුව උතුරේ අත්දැකීම් විග්‍රහ කරමින්; රට රකින අයට සලකන්නේ මෙහෙමදැ’යි විමැසුවේ ය. මහත් හඬින් සිනාසුණු පිරිස ඔහුගේ අත්වාරුව ගෙන ඈතට වීසි කළහ. මුළු ත්‍රිවිධ හමුදාවට හා පොලීසියටත් බැණ වැදුණාහ. මේ වනවිට ද තවත් පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙමින් සිටියේ ය. ඔහු ජංගම දුරකථනය ගෙන හමුදා කඳවුරකට කතා කළේ ය. දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ නතර කැරිණි. මුලින් කී පෙට්ටියේ සියලු දෙනාටම අමතක නොවන පාඩමක් එතැන දී ඉගෙන ගන්නට ලැබිණි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් ද, බෙදුම්වාදයෙන් ද නිදහස් වූ ආකාරය බොහෝ දෙනකුට අමතක ය. රණවිරුවන් ඒ වෙනුවෙන් කළ මහත් වූ කැපවීම ද බොහෝ දෙනකුට අමතක ය. හසලක වීරයා වැනි කෙනකු මරණය පෙනි - පෙනී ත්‍රස්තවාදීන්ගේ යුද ටැන්කියකට පැන එය පුපුරවා හළේ මේ රටේ අනාගතය ගැන කල්පනා කරමින් ය. සමහරු යුද්ධයට බියෙන් අතපය හකුළාගෙන සිටියහ. තවත් අය රට හැර ගියහ. තවත් අය පදිංචි ස්ථාන වෙනස් කරමින් ජීවිතයෙන් පලා යන්නට පටන් ගත්හ. මානුෂීය මෙහෙයුම ආරම්භ වූයේත් රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සටනට එළැඹියේත් ඉන් පසුව ය. ඇතැම් රණවිරුවෝ යුද බිමෙහි පොළොව සිප ගනිමින් අන්තිම මොහොතේ පවා මවුබිම දිනේවා’යි කෑගැසූහ.

අද අපට දකින්නට ලැබෙන ශෝකජනක දර්ශන පෙළක් තිබේ. අද යුද්ධයක් නැත. ත්‍රස්තවාදයක් නැත. මිනිස් බෝම්බ නැත. එහෙත් දෑස් අහිමි රණවිරුවන් ද, අතපය අහිමි රණවිරුවන් ද, පූර්ණ ආබාධිත රණවිරුවන් ද සෑම අවස්ථාවකදී ම දැකගත හැකි වනු ඇත. එබඳු රණවිරුවෝ දහස් ගණනක් අප අතර ම සිටිති. ඔවුන් සාමාන්‍ය හැසිරීමක් නිරූපණය කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වන්නේ නැත. දෑස් අහිමි තරුණ රණවිරුවකු හා විවාහ වූ සුරූපී තරුණියක පිළිබඳ අපූරු කතාවක් මෙරට පුවත්පත්වල පළ වී තිබිණි. එම තරුණිය ආදර්ශවත් ය. එබඳු තරුණියන් දහස් ගණනක් අද අපට අවශ්‍ය වේ. රණවිරුවාට ගෞරව කිරීම පැමිණිය යුත්තේ අපගේ මුළු හදවතින් ම ය.

1991 ට පෙර සෝවියට් දේශයට ගිය කෙනකුට විරුවන් සැමරුම පිළිබඳ අපූරු අත්දැකීමක් ලබා ගැනීමට පුළුවන්කම තිබිණි. 1917 ඔක්තෝබර් විප්ලවයට සහභාගී වූ විමුක්ති භටයන් ද, ඔවුන්ගේ ඥාතීන් ද මහත් හරසරින් පිළිගෙන ඔවුන්ගේ අභිමානය රැක දීම සමස්ත සෝවියට් දේශයේ ම ඒකායන ප්‍රාර්ථනය විය. සිය කබායේ පදක්කම් ගණනාවක් එල්ලාගෙන අභිමානයෙන් ඇවිද යන වයස්ගත පුරුෂයන් හමුවේ රුසියන් තරුණයන්ගේ ඍජු කය දෙකට - තුනට නැමිණි. චීනයේ, වියට්නාමයේ, කියුබාවේ වුව අදත් එම ගෞරවය පවතී. සිය මව හැරුණුකොට උදාර මිනිසකුට ඇති ඊළඟ මාතාව මවුබිම වන්නේ ය. ඒ මවුබිම රක්ෂා කිරීමට සිය රුධිරය හෙළූ ආරක්ෂක භටයා සදාකාලික වීරයෙකි.

ඉහත පූර්විකාව ලියා තැබුවේ; අලුත් කතාවකට මුල පිරීමට ය. මේ කතාව ආරම්භ වන්නේ කඹුරුපිටිය විල්පිටවත්තේ ඉදි කළ අභිමංසල - 2 සංකීර්ණයෙනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය ද එම සංකීර්ණය විවෘත කරන ලදී. අභිමංසල පළමු පියවර අනුරාධපුරයේ ඉදි කර තිබේ. ඊටත් පෙර මිහිඳු “සෙත් මැදුර” නමින් තවත් රණවිරු වාසස්ථානයක් විවෘත කර තිබිණි. මේ මධ්‍යස්ථානයක අරමුණ වන්නේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට දැනට අබාධිත තත්ත්වයේ පසුවන රණවිරුවනට කෘතගුණ සලකමින් ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු සැලැසීම ය.

දකුණේ ආබාධිත රණවිරුවන් සඳහා අභිමංසල - 2 පියවර ඉදිකොට තිබේ. ඒ සඳහා රුපියල් දස ලක්ෂ 207ක් වැය කර තිබේ. වාට්ටු සංකීර්ණයක්, භෞත චිකිත්සාගාරයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, වෛද්‍ය පරීක්ෂණ ආයතනයක්, දේශනාගාරයක්, පුස්තකාලයක් ඇතුළු තවත් පහසුකම් රැසක් මෙහි පවතී. දකුණේ, පූර්ණ ආබාධිත රණවිරුවන් හතළිස් අට දෙනකු සඳහා මේ ආයතනය ගොඩනඟා තිබේ. බස්නාහිර පළාතේ ආබාධිත රණවිරුවන් සඳහා “මිහිඳු මැදුර” ආයතනය තිබේ. උතුරු මැද පළාතේ ආබාධිත රණවිරුවන් සඳහා අනුරාධපුර අභිමංසල තිබේ. වයඹ පළාතේ ආබාධිත රණවිරුවන් සඳහා කුරුණෑගල අභිමංසල ඉදිවෙමින් පවතී. ආණ්ඩුව කිසිසේත් ම රණවිරුවන් අමතක කිරීමට සූදානම් නැත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනුව සියල්ල නොමිලේ සපයන වැඩසටහන් හා ව්‍යාපෘති ගෙන යෑම අපහසු ය. එහෙත් මුදල් නාස්තිය ද යහමින් සිදු වන බව හැම පැත්තෙන් ම දැක ගත හැකි ය. කුමක් වුව රණවිරුවන් වෙනුවෙන් කැප වූ වැඩසටහන් හා ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වේ. ඒවා ප්‍රසංශනීය මට්ටමක පවතී. ඇතැම් වැඩසටහන් කෙළින් ම රාජ්‍ය අංශය විසින් මෙහෙයවනු ලබන අතර තවත් වැඩසටහන් ස්වේච්ඡා සංවිධාන විසින් කරගෙන යනු ලැබේ. යම් - යම් අකාරුණික සිදුවීම් දැක ගන්නට ලැබුණ ද සමස්තයක් ලෙස ගත් කළ වැඩි පිරිස රණවිරුවනට ඉත සිතින් ම සලකති.

කඹුරුපිටියේ විල්පිටවත්තේ ඉදි කළ අභිමංසල විවෘත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපූරු කතාවක් ද කළේ ය. කුමන බලපෑම් තිබුණ ද ඒවාට මුහුණ දෙමින් රටත් ජාතියත් බේරා ගන්නා බව එම කතාවේ හරය යි. රටේ හා ජාතියේ නිදහස වෙනුවෙන් සටන් කොට ඕනෑම දඬුවමක් විඳීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. බටහිර බලවත් ජාතීහු අපට චෝදනා එල්ල කරති. අවස්ථාව ලද විගස අපට පහරදීමට බලා සිටිති. එක ම හේතුව ත්‍රස්තවාදය විනාශ කිරීම ය. රටක නිදහස හා ස්වාධීනත්වය තීන්දු කළ යුත්තේ එම රාජ්‍යයේ ජනතාව මිස බටහිර බලවත් ජාතීන් නොවේ. නිදහසින් පසු මෙරට පාලන බලය අතට ගත් නායකයෝ බටහිරට යට වූහ. ඔවුන්ගේ සපත්තු ලෙව කෑහ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එවැන්නෙක් නොවේ.

නිදහසින් තොර ජීවිතය මරණයක් බඳු යැයි කියති. අත - පය - බඩ තිබුණ ද ඔළු ගෙඩිය තුළ ඇත්තේ වහල්භාවය නම් ; එම අත - පයෙන් පලක් නැත. අපේ රණවිරුවෝ ශක්තිමත් අත - පය සමඟ හොඳ ඔළුවකින්ද යුතුව සටන් කළහ. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන්හ. මේ සටනේ දී අත - පය පමණක් නොව මුළු සිරුරෙන් ම ආබාධිත වූවෝ සිටිති. ඔවුනට නිසි ජීවිතයක් දීම අප සියල්ලන්ගේම වගකීම වේ. එහිලා ආණ්ඩුවේ ගමන් මඟ ඉතා නිවැරැදි බව අපට පෙනේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා