මුද්‍රණය සඳහා

 
මෙවර අයවැය විපක්ෂයට මරු පහරක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

මෙවර අයවැය විපක්ෂයට මරු පහරක්

ෆයිසර් මුස්තාපා - තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය ඇමැති

l 2013 අයවැය සමස්තයක් ලෙස ඔබ දකින්නේ් මොන විදිහටද?

සරලව කිව්වොත්, දුගී දුප්පත්කම නැති කිරීමට ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට සැකසූ අයවැයක්. සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කරමින් දේශීය ආර්ථිකයට ගැළපෙන අයුරින් මේ අයවැය සකසා තිබෙනවා. හැම ජන කොටසක්ම සෑම කර්මාන්තයක්ම නඟාසිටුවන පරිදි ගෙවිලියගේ සිට ජාත්‍යන්තර ගනුදෙනුකරුවා දක්වා සහ ඔවුන්ගේ ශක්තිය රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමට සැකසූ අයවැයක්.

ජනාධිපතිතුමා රටේ නායකයා ලෙසත්, මුදල් ඇමැතිවරයා ලෙසත් සෑම ක්ෂේත්‍රයකම නිලධාරින් බලධාරින් සමඟ සාකච්ඡා කරලා ඉදිරි දැක්මකින් යුතුව ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමාලාවක්.

l ත්‍රස්තවාදය නිසා රටේ ජනතාවට අහිමි වූ වරප්‍රසාද මෙවර අයවැයෙන් ඔවුන්ට හිමිවෙලා ද?

රටේ ආර්ථික වර්ධන වේගය සියයට 8 දක්වා ඉහළ දැමීමට සන්ධාන රජයට හැකිවුනේ ඒ වරප්‍රසාද ජනතාවට ලබාදුන්න හින්දයි. යුද්ධය නිසා විශාල සම්පත් ප්‍රමාණයක් රටට අහිමිවුණා. මහින්ද චින්තනය යටතේ සන්ධාන රජයේ පස් අවුරුදු සැලසුම් මඟින් 2010 වනවිට ඒ සංවර්ධනය පෙන්වන්න ජනාධිපතිතුමාට හැකිවුණා. එදා ආර්ථික වර්ධන වේගය සියයට 5යි. ඒකපුද්ගල ආදායම ඩොලර් 1062 සිට ඩොලර් 2800 දක්වා ඉහළ ගියා. උද්ධමනය සියයට 7 දක්වා අඩු කළා. විරැකියාව සියයට 5 දක්වා අඩු කළා. සංඛ්‍යා දත්ත වලින් ගණනය කළ නොහැකි සාමයක් සංහිඳියාවක් මෙරට ස්ථාපිත කිරීමට මහින්ද චින්තනයට හැකිවුණා.

අද රටේ පොදු මහජනතාව මූලික නිදහස භුක්ති විඳිනවා. පාරවල් කාපට් වෙනවා. අධිවේගී මාර්ග , වරාය, ගුවන් තොටුපළ ඉදිවෙනවා. මේවා යළි යළිත් අවධාරණය කළ යුතු නෑ. සෑම අතින්ම ආයෝජනය වැඩිවෙලා.

ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිතුමා තම අයවැය කතාවේදී සංඛ්‍යා දත්ත සමඟ කරුණු ඉදිරිපත් කළා.

l නමුත් විපක්ෂය කියන්නේ මෙවර අයවැය අලුත් දවටනයක ඔතපු පරණ ටොපියම තමයි කියලා?

විකල්පයක් ඉදිරිපත් නොකර විපක්ෂය කියන මේ කතා ඔවුන්ගේ දේශපාලන බංකොළොත්භාවය සනාථ කරනවා. ඔවුන්ට ප්‍රතිපත්තියක් නෑ. එජාපය ජනතා අධිකරණය ඉදිරියේ ප්‍රතික්ෂේප වූ පක්ෂයක්. දේශපාලන බලයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට බලයක් ලබා ගැනීමට හැකියාවක් නෑ, දිගින් දිගටම ජනතා අධිකරණය බලයට පත්කළේ මහින්ද චින්තනය, සන්ධාන ආණ්ඩුව. ඒ රජයේ හරයාත්මක දේවල් ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්කිරීමට දරන බොළඳ ප්‍රයත්නවලට බුද්ධිමත් ජනතාවගෙන් සහනයක් ලැබෙන්නේ නෑ. උතුරේ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් කොළඹ ගතකරන්නේ සුඛෝපභෝගී ජීවිතයක්. නිවාඩුවට විතරක් උතුරට යන ඔවුන් ජනතා සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ් නෑ. ඒ නිසා ඔවුන් වෙලේ නියරේ ඇවිදල සමාජ යථාර්ථය දැකලා ආර්ථික දැක්මක් ඇතුව සංවර්ධනය තුළින් ජාතික සංහිඳියාවක් ගොඩනඟන ජනාධිපතිතුමා ගෙනා, එතුමාගේ රජයේ අයවැයට බයයි.

ඉදිරි අයවැය මුල්‍ය ප්‍රතිපත්තිය තුළ සාර්ව ආර්ථිකයක් ගොඩනැඟීමේ අඩිතාලම දමා තියෙනවා. එජාපයට බැරිවුණා ඔවුන්ගේ පාලන සමයේ එක රස්සාවක් දෙන්න. ජනාධිපතිතුමා වැඩ කරන ජනතාවට සහන රැසක් දුන්නා.

උපාධිධාරීන්ට රැකියා දුන්නා. අයවැය පරතරය නැතහොත් හිඟය අවම මට්ටමක පවත්වාගමින් එය සියයට 6 දක්වා අඩු කිරීමට රජයට හැකිවුණා. ලබන වසර වනවිට එය සියයට 5.8 දක්වා අඩු කිරීමට සැලසුම් මේ අයවැයේ අන්තර්ගතයි.

ජාතික ආදායමේ සියයට සීයය ඉක්ම වූ ණය සියයට අසූව දක්වා අඩුකළේ කවුද? එය සියයට හැත්තෑපහ දක්වා අඩුකිරීමේ ආර්ථික දැක්මක් අප සතුයි. ඒ තුළ 2015 වනවිට මෙරට අයවැය හිඟය 4.5 දක්වා අඩු කිරීමට අපට හැකිවෙනවා.

l දේශීය ගොවියාත්, කෘෂි කර්මාන්තයත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයාත් ආරක්ෂා කරමින් සංවර්ධන ඉලක්ක ජයගන්න මේ අයවැයෙන් හැකිද? ඔවුන්ට සාධාරණය ඉටුවෙලාද?

සන්ධාන රජයේ මූලික අභිප්‍රායත් ඒකමයි. දේශීය ගොවියා රැක ගැනීම., අද වනවිට අප සහලින් ස්වයංපෝෂිතයි. මහින්ද චින්තන ආර්ථික ප්‍රතිපත්තිය තුළ සහල් ආනයනය කරන්නේ නැහැ. රටට අවශ්‍ය බඩ ඉරිඟු අප නිෂ්පාදනය කරනවා. පසුගිය කාලයේ අප රජය නියඟයෙන් ගොඩආවේ මේ ආර්ථික දැක්ම තුළයි. නියඟයෙන් පීඩා විඳි ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා සහන රැසක් ඔවුන්ට දුන්නා.

ලබන වසරේදී සියලු ගොවීන් වගා රක්ෂණ ක්‍රමයකට දායක කර ගන්නවා. ජාතික රක්ෂණ භාරකාර අරමුදල මඟින් මෙය ඉටුකරනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දිරිමත් කිරීමට බදු සහන ලබා දී තියෙනවා. එකතු කළ අගය මත බදු පනතේ 10 වන වගන්තිය හා ජාතිය ගොඩනැඟීමේ බදු පනතේ 3 වගන්තිය සංශෝධනය කිරීමට අයවැයෙන් යෝජනා කළා.

පොහොර සහනාධාරය, වී වලට සහතික මිලක් නියම කිරීම, දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට තීරුබදු පැනවීම, ධීවර වරාය, නැංගුරම් මධ්‍යස්ථාන ඒවාට අමතරව විශේෂයෙන් ධීවරයාට රුපියල් මිලියන 2000ක් වෙන්කළා.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරණ දිවි නැඟුමට අයවැයෙන් විශාල ශක්තියක් ලබාදී තියෙනවා. ගෘහ ආර්ථිකය නඟාසිටුවීමේ එම දූරදර්ශී පිළිවෙත දිරි ගැන්වීම සැබැවින් රටට අවශ්‍ය කාලෝචිත දෙයක්.

l රේසිං කාර්වලට බදු සහන පිරිනැමීම විපක්ෂයේ කතාබහට ලක්වෙලා?

පොදු මහජනතාවට මින් අත්වන සෙතක් නොමැති බව පෙන්වන්නැයි ඔවුන් අදහස් කරන්නේ. අපේ ගමේ උදවිය රේස් කාර් පදින්නේ නෑ. ඒක ඇත්ත නමුත් රටක් සංවර්ධනය කිරීමේදී සෑම අංශයක්ම දියුණුවිය යුතුයි. මෙමඟින් රටේ පොදුජන ආර්ථිකය නඟාසිටුවීම නොවෙතැයි කාටවත් කියන්න බෑ. අද මේ රටේ සංචාරක කර්මාන්තය දියුණුයි. ලක්ෂ 10ක් විදේශ සංචාරකයින් එන රටේ එමඟින් ඩොලර් බිලියනයක ආදායමක් ලබන අපි ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතුයි. එම ආයෝජකයින් දිරිමත් කළ යුතුයි. එය රටට හොඳයි. වරාය, අධිවේගී මාර්ග ගමේ වැවට සී ප්ලේන් ගොඩබහින රටේ රේස් කාර් අවශ්‍යයි. සී ප්ලේන්වල ගමේ අය ගියේ නෑ. ඒක රටට ආදායම් මර්ගයක්. මේ උසිගැන්වීම් වලට රැවටෙන්න තරම් ජනතාව අනුවණ නෑ.

l අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ආදායමෙන් වෙන් කරන මුදල ප්‍රමාණවේද?

මෙවර අයවැයේ අධ්‍යාපනය සඳහා වන ආයෝජනය පැහැදිළිව සඳහන් වෙනවා. එය සමස්ත වියදමින් සියයට නවයක් පමණ වෙනවා. නැතහොත් රුපියල් බිලියන 306ක් ජාතික ආදායමෙන් සියයට හතරකට වැඩි ප්‍රමාණයක්, අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඊට අදාළ ගුරු පුහුණු යටිතල පහසුකම් සංවර්ධනය සියල්ල සමඟ ගත්විට ආසියාවේ ඉහළ ස්ථානයක අප සිටිනවා.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක දුෂ්කර පාසල් සිසු දරු දැරියන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම, සපත්තු යුගලක් පිරිනැමීම අගය කළ යුතුයි.

l ජාතික සහජීවනය වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය පෙන්වා දී තිබුණා?

අපේ රටේ පවුල, ආගම හා සංස්කෘතිය අතර සබැඳියක් තියෙනවා. ඒ සබැඳියාවක් තුළ ප්‍රජා සංහිඳියාවක් සහජීවනයක් පවත්වා ගැනීමේ මධ්‍යස්ථානය වුනේ ගමේ පන්සල, කෝවිල, පල්ලිය. එබැවින් ආගමික ස්ථානවල මූලිකත්වයෙන් ප්‍රජාව සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන් රජය රුපියල් මිලියන 200ක් වෙන්කළා.

ජනතාවගේ ගුණධර්ම වැඩි කරන්න මුදල් අවශ්‍ය ද? ගෙදර ගෘහ මූලිකයා මත්ද්‍රව්‍යවලින් ඈත් කරන්න ප්‍රතිපාදන වෙන්කරලා පුළුවන් ද? අවශ්‍ය පහසුකම් දුන්නම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ ටික කරනවා. මෙය ගණිතමය තර්කයකින්, මුදලකින් කරන්න බෑ.

l තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයිට මෙවර අයවැයෙන් සාධාරණය ඉටු වෙලාද?

අපේ රටේ වෛද්‍යවරුන්, තාක්ෂණ ශිල්පීන් මේ අවුරුද්දේ ජාත්‍යන්තර නව නිර්මාණ බිහිකළා. ලබන වසරට රුපියල් බිලියන නවයක් වෙන් කරලා තියෙනවා. ජාතික පර්යේෂණ සභාවට රුපියල් මිලියන 250ක් ලබාදී තියෙනවා. පසුගිය ආණ්ඩු මෙතරම් ආයෝජනයක් කරලා නෑ. නව නිර්මාණකරුවෝ බිහිකරලා නෑ.

තෙල් ආනයනය මත රඳා නොසිට පුනර්ජනනීය බල ශක්තියට යොමුවීම තිරසාර සංවර්ධනයට පාර කපන මහින්ද චින්තනයේ දැවැන්ත ක්‍රියාදාමයක් ලෙස මා දකිනවා.

ධීවරයා, ගොවියා, කම්කරුවා, රජයේ සේවකයා, වෘත්තීයවේදියා අමතක නොකළ මේ අයවැය මඟින් විශ්‍රාමික ජනතාව මෙන්ම ජූලි වර්ජකයාද අමතක කර නෑ. ජූලි වර්ජනයට හසුවූ ශ්‍රමිකයින් අමතක නොකිරීම විශේෂ කරුණක් ලෙස මා දකිනවා. එම නිසා මේ අයවැය පොදු ජන අයවැයක් හා විපක්ෂයට මරු පහරක් වෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]